අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් අද(07) ප්‍රතික්ෂේප කළේය.
පසුගිය ජනවාරි මස දොළොස් වන දින මාධ්‍ය හමුවක් පවත්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා කරමින් අධිකරණ සංවිධාන පනතේ 19 වන වගන්තිය යටතේ පසුගියදා කොළඹ මහාධිකරණය විසින් මොහුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේය.
පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා විසින් විත්තිකාර නිතීඥ අජිත් ප්‍රසන්න මහතාට එරෙහිව අධිකරණ සංවිධාන පනතේ 19 වන වගන්තිය යටතේ චෝදනා දෙකකින් යුත් චෝදනා පත්‍රයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ පසු නීතිඥ අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා ඇප ඉල්ලීම ඉදිරිපත් කළ බවද සඳහන්.
විත්තිකරු තමාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවතින බව එම ඇප ඉල්ලීම තුළින් සඳහන් නොකිරීම කෙරෙහි අවධානය යොමුකළ මහාධිකරණ විනිසුරුවරයා ඔහු ඇප මත මුදා හරිනු ලැබූවොත් ඔහු විසින් දැනට සිදුකරමින් පවතින වරද ඉදිරියට ද සිදු කිරීමට හැකියාව පවතින බව පෙන්වා දුන් අතරම, එමෙන්ම සාක්ෂිකරුවන්ට ද බලපෑම් සිදු කිරීමට හැකියාව පවතින බව පෙන්වා දුන් විනිසුරුවරයා සමාජය ආරක්ෂා කිරීම කෙරෙහි අධිකරණයට වගකීමක් පවතින බවත් සිය ඇප නියෝගයෙන් සඳහන් කර සිටියේය.
ඒ අනුව ඇප පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම විත්තිකරු ඇපමත මුදාහරින ලෙස කරනු ලබන ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නඩුව නැවත ලබන 19 වනදා කැඳවන ලෙසද නියෝග කළේය.