ජාතික හෙළ උරුමය සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (21දා) සවස අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.
ජාතික හෙළ උරුමය විසින් සකස් කරන ලද යෝජනාවලිය මෙහිදී ජනාධිපතිවරයා වෙත භාරදී ඇති අතර, එම යෝජනාවලියේ ඇති කරුණු පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කමිටුවක් මගින් අධ්‍යයනය කොට සාකච්ඡා කිරීමටද එහිදී අවධානය යොමුවී තිබේ.
ඒ අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජාතික හෙළ උරුමය අතර ඉදිරියේදීද සාකච්ඡා පැවැත්වෙනු ඇති බව කියයි.
අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන යන මහත්වරුද, ජාතික හෙළ උරුමය වෙනුවෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, පූජ්‍ය අතුරලියේ රතන හිමි මෙන්ම, අමාත්‍ය පාඨලී චම්පික රණවක, උදය ගම්මන්පිල, නිශාන්ත වර්ණසිංහ, ආචාර්ය අනුරුද්ධ ප්‍රදීප් යන මහත්වරු මීට එකව සිටියහ.