අම්පාර, දීඝවාපිය විහාරස්ථාන ඇතුළු රක්ෂිත පුරාවිද්‍යා බිම් අක්කර දහස් ගණනක් කුඹුරු බවට පත්වෙද්දී නිහඬව සිටින නිලධාරීන් සිතුල්පව්ව පුදබිමේ බුදුපිළිම තැන්පත් කිරීම පිළිබඳ පමණක් ක්‍රියාමාර්ග ගන්නා බව තිස්ස, කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩල නාහිමිවරු නිවේදනයක් නිකුත් කරමින් පවසති.
ඓතිහාසික සිතුල්පව්ව පුදබිම වසර දහස් ගණනක පැරණි ඉතිහාසයට හිමිකම් කියන, දොළොස්දහසක් මහරහතන් වහන්සේලා වැඩ සිටි බවට තොරතුරු ඇති, රුහුණු මාගම් පත්තුවේ පිහිටි එකම පූජනීය සිද්ධස්ථානය බවත්, සෑම වසරකම විහාර සංවර්ධන කටයුතු කිරීමට රටේ පාලකයන්ට රාජ නියෝගයක් නිකුත් කර ඇති ශිලාලේඛනවල පවා මෙම විහාරස්ථානය සඳහන් වන බවත් නාහිමිවරු ප්‍රකාශ කරති.
එවැනි පිංබිමක බුදුපිළිම තැන්පත් කිරීම වරදක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරමින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක තිස්සමහාරාම සඳගිරි රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියන් ඇතුළු නාහිමිවරුන්ගේ අත්සනින් එම නිවේදනය නිකුත් කර තිබේ.
තම විහාරස්ථානයට අයත් පුරාවිද්‍යා වටිනාකමක් ඇති තිස්ස සඳගිරිපිළිමගේ, උඩස්ගම බදු වත්තේ අක්කර සිය ගණනක් වූ විශාල ඉඩම් ප්‍රමාණයක පවුල් 25කට වැඩියෙන් අනවසරයෙන් ඇතුළු වී ස්ථිර නිවාස සාදාගෙන වර්තමානයේද පදිංචිව ඇති බවත්, එහි පුරාවිද්‍යා වටිනාකමක් ඇති ගල්කණු ඉවත් කර බුද්ධ ප්‍රතිමා හා බෝසත් ප්‍රතිමා ගොඩගෙන අවට විහාරස්ථානවල තැන්පත් කර තිබියදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිතුල්පව්ව පුදබිමේ තැන්පත් කර ඇති බුදුපිළිම වෙනුවෙන් පමණක් හඬ නගන බවත් ධම්මසේන හිමියෝ ප්‍රකාශ කරති.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස නාහිමියන් පවසනුයේ, ඓතිහාසික සිතුල්පව්ව විහාරස්ථානය අද වනවිට ලෝක පූජිත සිද්ධස්ථානයක් බවට පත්කිරීමට දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක සිතුල්පව්ව රාජමහා විහාරාධිපති මැටරඹ හේමරතන හිමියන් කටයුතු කර ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිතුල්පව්ව නාහිමියන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ නම්, සංඝාධිකරණයෙන් ගත යුතු සියලු පියවරයන් ගෙන බෞද්ධ ජනතාව අවදි කරමින් මෙම අසාධාරණය පිළිබඳ විදේශ රාජ්‍යයන් දැනුවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන ලෙස කතරගම හා තිස්සමහාරාම ශාසනාරක්ෂක බලමණ්ඩලවල අයත් සියලු විහාරස්ථානවල නාහිමිවරුන්ව මේ වනවිට දැනුවත් කර ඇතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඇත්කඳුර - ජනත් ද සිල්වා