විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කරනතුරු තමන්ගේ විශ්‍රාම වැටුප් අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මඟින් තම අයිතිවාසිකම් කඩවී ඇති හෙයින්, අමාත්‍ය මණ්ඩලයේ එම තීරණය අඩංගු චක්‍රලේඛය බලරහිත කරන්නැයි ඉල්ලමින් හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල්වරයා, විශ්‍රාමිකයින්ගේ අයිතීන් සුරැකිමේ සංවිධානයේ කැඳවුම්කරු ඇතුළු විශ්‍රාමිකයින් 95 දෙනෙකු අභියාචනාධිකරණයට අද (01) රිට් පෙත්සමක් ගොනු කළහ.
හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් කේ.ඒ.තිලකරත්න මහතා විශ්‍රාමිකයින්ගේ අයිතීන් සුරැකිමේ සංවිධානයේ කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා ඇතුළු විශ්‍රාමිකයින් 95 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, විශ්‍රාම වැටුප් අධ්යක්ෂවරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ඇතුළු විසි දෙනෙකු නම් කර ඇත.
නීතීඥ සුනිල් වටගල මහතා මඟින් මෙම රිට් පෙත්සම ඉදිරිපත් කළ පෙත්සම්කරුවෝ තමන් රජයේ රැකියා කොට විශ්‍රාම යෑමෙන් අනතුරුව විශ්‍රාම වැටපු විශ්‍රාමිකයෝ බව සඳහන් කොට ඇත.
2016 ජනවාරි 01 වැනිදා සිට 2019 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ විශ්‍රාම ලැබූ සියලූම විශ්‍රාමිකයින්ට නව දීමනාවක් විශ්‍රාම වැටුපට එකතු කරන බව තමන්ට දැන ගන්නට ලැබුණු බව පවසන පෙත්සම්කරුවෝ එම නව දීමනාව මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට විශ්‍රාම වැටපුට එක් කරන බවත් එවකට පැවති රජය ප්‍රකාශ කළ බවද සඳහන් කොට ඇත.
තමන් ඉමහත් පුදුමයට පත් කරමින් 2020 ජනාරි 02 වැනිදා ගත් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සියලූම විශ්‍රාමිකයින් ගේ වැටුප් වර්ධක අත්හිටුවන බවට 35 /2019 (1) චක්‍රලේඛයක් මඟින් ප්‍රකාශයට පත් කළ බව සඳහන් කරන පෙත්සම්කරුවෝ මෙම නව චක්‍රලේඛය අසාධාරණ සහ අයුක්තිසහගත බවත් ඉන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් සඳහන් කොට ඇත.
එහෙයින් සියලූම විශ්‍රාමිකයින් ගේ වැටුප් වර්ධක අත්හිටුවමින් නිකුත් කළ චක්‍රලේඛය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, අත්හිටවූ විශ්‍රාම වැටුප් වර්ධන සහිත දීමනා තමන්ට ලබා දීමට නියෝග කරන ලෙසත් ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ විශ්‍රාමිකයින් සඳහා වැඩි කරන ලද විශ්‍රාම වැටුප වහාම ගෙවන ලෙස රජයට නියම කරන්නැයිද ඉල්ලා සිටිති.
තමන්ගේ පෙත්සම විභාග කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති.