ලංකා විදුලිබල මණ්ඩලය නිතිවිරෝධී ආකාරයට නිලධාරීන් වෙනුවෙන් ගෙවා තිබෙන උපයන විට බදු මුදල් නැවත රටට අයකරදෙන්නැයි ඉල්ලා හෙට (18දා) අල්ලස් කොමිසමට පැමිණිලි කරන බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
උපයන විට ගෙවිය යුතු බදු මුදල අදාළ නිලධාරියාගේ වැටුපෙන් අයකර රජයට ලබාදීම පාලනාධිකාරියේ වගකීමක් බවත්, එහෙත් පාලනාධිකාරිය එම වගකීම පැහැරහැර තිබෙන බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
අදාළ බදු මුදල් විදුලිබල මණ්ඩලය විසින් ගෙවනු ලබන බවත්, මණ්ඩලයට මුදල් ලැබෙන්නේ මේ රටේ ජනතාවගෙන් බවත් ඔහු කියා සිටියේය.
මේ අනුව විදුලිබල මණ්ඩල නිලධාරීන්ගේ උපයන විට බදු මුදල් ගෙවා තිබෙන්නේ මේ රටේ විදුලි පාරිභෝගිකයන් බවත්, මේ නිසා ගෙවා ඇති මුදල විදුලිබල මණ්ඩල නිලධාරීන්ගෙන් අයකරගෙන එම මුදලින් ජනතාවට සහන දෙස ලෙසට අල්ලස් කොමිසමට හෙට පැමිණිලි කරන බවත් රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.