යුක්රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යනුකොවිච් බලයෙන් පහ කිරීමෙන් මාස කිහිපයකට පසු අද (25දා) යුක්රේන වැසියන් ඓතිහාසික ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය ප්රකාශ කිරීම අරඹයි.
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 18 දෙනෙකු තරග බිමේ සිටින අතර, මෙය රට එක්සේසත් කිරීමේ සන්ධිස්ථානයක් වනු ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත් නැගෙනහිර යුක්රේනයේ සිටින රුසියානු හිතවාදී කැරලිකරුවන් මැතිවරණයට විරුද්ධ වන ලෙස ජනතාවට බල කරන අතර, මැතිවරණය කඩාකප්පල් කරන බවද පවසයි.
පසුගිය දින කිහිපය තුළ කැරලිකරුවන් හා රජයේ හමුදා අතර ඇතිවූ ගැටුම්වලින් මියගිය පිරිස 20 ඉක්මවා ඇති අතර, සිදුවීම් වැඩි ප්රමාණයක් නැගෙනහිර යුක්රේනයෙ ලුහන්ක්ස් හා ඩොනෙට්ස්ක් පළාත්වල සිදුව තිබුණි.
මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින ධන කුවේරයෙකු වූ පෙට්ට්රෝ පෝරෝෂෙන්කෝ හෙවත් චොක්ලට් රජු නමින් හැඳින්වෙන අපේක්ෂකයා මැතිවරණය ජයග්රහණය කරනු ඇති බවට පූර්ව මත විමසුම්වලින් පැවසේ.
යුක්රේනයේ හිටපු අගමැතිනී යූලියා ටයිමෂෙන්කේ මැතිවරණයට ඉදිරිපත් වුවත්, ඇය පෝරෝෂෙන්කෝට වඩා පසුපසින් සිටින බව එම මත විමසුම් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ජයග්රහණය සඳහා එක් ඡන්දදාකයෙකු 50% ඉක්මවන ඡන්ද ප්රතිශතයක් ලබාගත යුතු අතර, එසේ නොවුණහොත් දෙවැනි වටයේ ඡන්ද විමසීම ජූනි 15 වැනිදා ආරම්භ වීමට නියමිතය.
මැතිවරණ ප්රතිඵල නිකුත් වීම සඳුදා සිදුවනු ඇති බව පැවසෙයි.