ජනාධිපතිතුමන්ට තුනෙන් දෙකේ බලයක් සහිත ශක්තිමත් රජයක් ලබා දෙන්නට නම් පොහොට්ටුවේ සියලු දෙනා වාදබේදවලින් තොරව එකට එක්ව කටයුතු කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අ දහස් පළ කළේ ඊයේ (04) අගුණකොළපෑලැස්ස තම නිවසේ පැවැති ධීවර ප්‍රජා සමුළුවක් අමතමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
2020 මහමැතිවරණය තීරණාත්මකයි. මෙම මැතිවරණය දිනන්නේ පොහොට්ටුවයි. ඒ ගැන සැකයක් නැහැ. නමුත් අපිට අවශ්‍ය විජයග්රහණයක්. අපේ ඉලක්කය තමයි තුනෙන් දෙකේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කරන සමහරු එසේ විවේචනය කරන්නේ කිසියම් වේදනාවකින් කියන එක මම දන්නවා. ශ්රීලනිපය විවේචනය කරන බොහෝ දෙනෙක් දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ තමන්ගේ මවු පක්ෂය කියළා. ඒ අය පාර්ලිමේන්තුවට ආවේ , ඇමැතිකම් හා වෙනත් තනතුරු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසායි.
ජනාධිපතිතුමා හා අගමැතිතුමා කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කරළා නැහැ. එතුමන්ලා දන්නවා මේ පක්ෂයේ වටිනාකම. අපි ගහමරා ගත්තොත් වාසිය කාටද? ඒ වාසිය යන්නේ විපක්ෂයට යන්න බලාගෙන ඉන්න පක්ෂවලට.
සමහර විට තනි පක්ෂයකට තුනෙන් දෙකේ බලයක් ලබා ගන්න පුලුවන් අවසාන අවස්ථාව 2020 වෙන්න පුලුවන්. ඒකට හේතුව තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැනි සියලු ජනතාවගේ සිත් දිනාගත හැකි ජනාධිපතිවරයෙක් අපේ රටේ පාලනයට පත්වීම. රටේ හැම මිනිසෙක්ම එතුමා කෙරෙහි දැඩි විශ්වාසයක් තිබෙනවා. අපි මේ මහමැතිවරණයේ දී රණ්ඩු සරුවල්වලට පැටළුනොත් ඒ විශ්වාසය තහවුරු කරන්න අවස්ථාවක් මහජනතාවට ලැබෙන්නේ නැහැ.
ඒ නිසා තුනෙන් දෙකේ බහුතරයක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට ඇති මෙම අන්තිම අවස්ථාව මගහරින්න එපා කියලා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.