කොළඹ වරායේ මාස කීපයක් තිස්සේ විදේශ රටවලින් ගෙන්වා ඇති පොල්තෙල් මෙට්‍රික් ටොන් දොළොස් දහසක් පමණ රඳවාගෙන රජය හා ජනතාව රවටා ඉතා සූක්ෂම ලෙස රුපියල් මිලියන 1500 ක බදු වංචාවක් සිදුකිරීමට පෞද්ගලික ආයතනයක් සූදානමින් සිටින බව සමස්ත ලංකා පාරම්පරික දේශීය පොල් තෙල් නිෂ්පාදක වරුන්ගේ සංගමය හෙළිදරව් කර සිටිති.
එහි ජාතික සංවිධායක බුද්ධික ද සිල්වා මහතා 14 දින පස්වරුවේ දඹුල්ල ප්‍රදේශයේ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මෙම හෙලිදරව්ව සිදු කළේය.
පසුගිය නොවැම්බර් මාසයේ සිට පොල් තෙල් තොගය වරායේ සඟවා තිබෙන බවත් අවස්ථා කිහිපයකදීම රජයේ බදු සහන ලබා ගෙන ඒවා මුදා ගැනීමේ සැලසුම් සහගත ක්‍රියා මාර්ගයක් ගනිමින් තිබුණු බවත් මෙරට පොල්තෙල් නිෂ්පාදනය සඳහා අමු ද්‍රව්‍ය හිඟය මවාපාමින් රාජ්‍ය නිලධාරින් සමග ඉතා සූක්ෂම ලෙස මෙරට බදු වංචා කිරීමේ උත්සාහයක් පවතින බව තම සංගමය වගකීමෙන් යුතුව හෙළිදරව් කරන බව සඳහන් කළේය.
මෙම පොල් තෙල් බදු වංචාව සිදුකරන්නට යන්නේ පසුගිය කාලයේ සීනි මෙරටට ගෙනවිත් බදු වංචාකළ කණ්ඩායම බවද බුද්ධික ද සිල්වා මහතා අවධාරණය කළේය.
දැනට රජය පනවා ඇති රුපියල් 125 ක බද්ද ඉවත් කොට අත්‍යාවශ්‍යය ආහාර ද්‍රව්‍ය යටතේ වරායේ රඳවාගෙන සිටින පොල්තෙල් තොගය වෙළඳපලට යවා බදු මුදල් වංචා කිරීම් මෙහි අරමුණ බව හෙතෙම පැවසීය.
මෙරට පරිභෝජනයට අවශ්‍ය දේශීය පොල්තෙල් සියයට සියයක් ලබාදීමට පාරම්පරික පොල් තෙල් කර්මාන්තකරුවන්ට හැකියාව තිබෙන බවද එසේ තිබියදී මේ ආකාරයෙන් විදේශ රටවලින් විස කාරක සහිත පොල් තෙල් ගෙන්වීම නිසා රජයත් මහජනතාවත් මැති ඇමති ඇමැතිවරුන් පවා දැඩි අපහසුතාවයකට පත් වීම සිදුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
පසුගිය අප්‍රේල් මාසයේ ද සිංහල අලුත් අවුරුද්ද උදා වෙනවාත් සමඟ රටේ පොල් තෙල් හිගයක් කෘතිමව මවාපාමින් මෙයාකාරයෙන් විස කාරක සහිත පොල්තෙල් මෙරටට ගෙන්වා ජනතාවට අලෙවි කළ සිද්ධිය තම සංගමය හෙළිදරව් කිරීමෙන් පසුව සිදුකරන ලද පරීක්ෂණ කටයුතු සියල්ල අතරමග නවතා දමා ඇතැයි හෙතෙම චෝදනා කළේය .
අත්‍යාවශ්‍ය සේවා යටතේ විදේශ රටවලින් ගෙන්වන පොල් තෙල් සඳහා බදු සහන ලබා දුනහොත් දේශීයව නැගී සිට ඇති පොල් තෙල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක ට ලක්වන බවද බුද්ධික ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.
පොල් ආශ්රිත වගකීම් භාරව සිටින ආයතන සිදු කරනු ලබන්නේ පොල් තෙල් ආනයනය කරුවන්ගේ අවශ්‍යතා ඉටු ඉටු කිරීමක් බව ද පසුගිය කාලයේ උග්‍ර පිළිකා කාරක සහිත විස පොල්තෙල් පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබෙන බවත් ඒවා මාස කිහිපයක් යටපත් කරගෙන සිට නැවත නත්තල් සමයේ මෙම පොල් තෙල් ජාවාරම ක්‍රියාත්මක වූ බව හෙතෙම පෙන්වා දුන්නේය.
පාරිභෝගික අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ද දෝෂ පවතින බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ ආහාරපාන වලට වගකිවයුතු පුද්ගලයෙක් ආයතනයක් මෙරට ක්‍රියාත්මක නොවන බවය .
එමෙන් ම විදේශීය රටවලින් විස සහිත පොල් තෙල් මෙරටට ගෙන්වා ඒවා මෙරට නිෂ්පාදනය කළ බවට ලේබල් අලවා වෙළඳ වෙළඳපොලේ අලෙවි කිරීම් ඕනෑ තරම් සිදුවන බවද එහෙත් ඒවා කිසිදු ස්ථානයකින් පරීක්ෂාවකට ලක් නොවන බවද තමන් හෙළිදරව් කරන බව සඳහන් කළේය.
පසුගිය වසරේ ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් සමග සිදුකරන ලද සාකච්ඡාවකින් දේශීය පොල්තෙල් සන්නාමය ආරක්ෂා කර ගනිමින් කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා අමුද්‍රව්‍ය විදේශ රටවලින් ගෙන්වා මෙරට පොල් තෙල් නිෂ්පාදනය කිරීම සඳහා ජනාධිපතිවරයා තීන්දුවක් ගත් බවත් එහෙත් එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය සේවකයින් ක්‍රියා නොකරන බවද පෙන්වා දුන්නේය.
රජයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය නිසා ජනාධිපතිවරයා ඇතුළු රජයට ඇමති ඇමතිවරුන්ට ජනතා අප්‍රසාදයක් ඇති වී තිබෙන බවද බුද්ධික ද සිල්වා මහතා පැවසීය.
එමෙන්ම තවත් හෙලිදරව්වක් කරමින් බුද්ධික ද සිල්වා මහතා කියා සිටියේ කොළඹ වරායට ගෙනවිත් ඇති පොල්තෙල් ලොව වෙනත් රටවලින් ආහාර පිස ඉවත් කිරීම සඳහා ඇති තෙල් බවද ඒවා නැවත පිරිපහදු කරමින් දේශීය වෙළඳපොලේ විකිණීම සිදු කරන බවද තමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි සඳහන් කළේය.
මෙම පොල්තෙල් පරික්ෂා කර බැලීමේ ආයතනයක් නොමැති බවත් ප්‍රමිති ආයතන වල ක්‍රියාකලාපය පිළිබඳව තවදුරටත් සොයා බැලිය යුතු බවද ඔවුන් පහුගිය කාලයේ ද පොඩ්ඩක් පොඩ්ඩක් වස කෑවට කමක් නෑ බව ප්‍රකාශ කළේ යැයි පැවසීය.
එමෙන්ම පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමය පසුගියදා කියා සිටියේ වීදේශ රටවලින් ගෙන්වන පොල්තෙල් වලට බදු සහන ලබා දිය යුතු බවට ප්‍රකාශ කළ බවය
එයින් ගම්‍යවන්නේ ඔවුන්ද ප්‍රමිතිය ආයතනයේ නිලධාරීන් මෙන් ඉතා සූක්ෂම ලෙස වැඩ කරනවා දැයි සැක මතුවන බවය.