රුපියල් තුන් කෝටි හතලිස් හත් ලක්ෂ පනස් දහසක් ( රුපියල් මිලියන 34.75 ) වටිනා ඇමෙරිකානු " කුෂ් " නැමැති ගංජා තොගයක් ඇමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී එහි සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු )
සුදත්ත සිල්වා මහතා අද සවස පැවසීය.
ඇමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් තැපැල් ඔස්සේ පාර්සල් 10 ක් ශ්‍රී ලංකාවේ බොරැලැස්ගමුව , වැල්ලවත්ත , මිනුවන්ගොඩ , වැලිසර , නුවරඑළිය සහ තලංගම යන ප්‍රදේශ වල පිහිටි නිවාස වෙත එවා තිබුණි.
එහෙත් මෙම පාර්සල් භාර ගැනීමට කිසිදු පුද්ගලයෙකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත නොපැමිණි නිසා මෙම පාර්සල් එහි සේවය කරන රේගු නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහ තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරිපිට දී ඉකුත් 05/16 දින විවෘත කර පරීක්ෂා කර තිබේ.
එහිදී එම පාර්සල් තුළ " කුෂ් " නැමැති ගංජා කිලෝ ග්රැම් 03 යි , ග්රැම් 475 ක් තිබී සොයා ගෙන තිබේ. මේ වනවිට මෙම ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.