කොල්ලූපිටිය සමුද්‍ර මාවතේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් මඟින් පිටස්තර පුද්ගලයකුට විකිණීමේ චෝදනාවන්ට වරදකරු වු එකම පවුලේ සිවුදෙනෙකු ඇතුළු පස්දෙනෙකුට බරපතළ වැඩ සහිත 67 වසරක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම වංචනික ඉඩම් විකිණීම හේතූවෙන් අගතියට පත් පාර්ශවයට රුපියල් කෝටි 1 1/2කට ආසන්න වන්දියක් ගෙවීමට අද (01) නියම කළේය.
කොල්ලූපිටිය සමුද්‍ර මාවතේ ඇලෝයි ඇව්නිව් පිහිටි ඉඩමේ හිමිකරු විදේශගතව සිටියදී මීට වසර 08 කට ඉහතදී පර්චස් 29ක එම ඉඩම ව්‍යාජ ඔප්පුවක් මඟින් පිටස්තර පුද්ගලයකුට විකිණීමේ චෝදනාවන්ට වරදකරු වු විත්තිකරුවන්ට නියම කළ දඬුවම් වලට අමතරව ඔවුන් රුපියල් 1,30,000/-ක දඩයකටද විනිසුරුවරයා යටත් කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් විනිසුරුවරයා ඔවුන්ට මෙලෙස දඬුවම් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවන්වීම නිසා මෙලෙස දඩුවම් නියම වුයේ කිස්ටි විවියන් රුද්‍රිගෝ, ධම්මික රුද්‍රිගෝ, ජෙයරාජ් අමරසිරි හෙවත් ජයනාත්, ජයන්ත රුද්‍රිගෝ සහ චින්තා රාජපක්ෂ නමැත්තන්ටය.
2012 ඔක්තෝම්බර් මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නීතීඥ කන්දයියා නීලකන්දන් මහතා විසින් සකස් කළ විකුණුම් ඔප්පුවේ හිමිකරු මෙම නඩුවේ පළමුවැනි විත්තිකරු වන විවියන් රුද්‍රිගෝ නමැත්තා නොවන බව දන්වමින් කොල්ලූපිටිය සමුද්‍ර මාවතේ ඇලෝයි ඇව්නිව් පිහිටි ඉඩම වෙනත් පුද්ගලයකුට විකිණීම සඳහා කුමන්ත්‍රණය කිරීම ඒ අනුව අදාළ ඉඩම ව්‍යාජ ඔප්පුවක් මඟින් වෙනත් පුද්ගලයකුට විකිණීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා තිබිණී.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් විත්තිකරුවන් අදාළ චෝදනාවන්ට වරදකරුවන් බව විනිසුරුවරයා තීරණය කළේය.
ඒ අනුව නඩුවේ පළමු විත්තිකරුට වසර 25 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද රුපියල් 50,000/-ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා අගතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂ 20 වන්දියක් ගෙවීමටද නියම කළේය.
දෙවැනි, තුන්වැනි හා පස්වැනි විත්තිකරුවන්ට වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්ද රුපියල් 10,000/- බැගින් දඩද සිවුවැනි විත්තිකරුට වසර 12ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද රුපියල් 10,000/- දඩද නියම කළ විනිසුරුවරයා අගතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂ 30 බැගින් වන්දි ගෙවීමටද නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ වසන්ත පෙරේරා මහතා පෙනී සිටි අතර කොළඹ වංචා විමර්ශන අංශය වෙනුවෙන් කොස්තාපල් 69057 රත්නායක මහතා පෙනී සිටියේය.