එල්.ටී.ටී.ඊ. යුදමය තත්ත්වය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්ව සිටි පවුල් 273,498න්, පවුල් 271,171ක් මේ වනවිට නැවත එම ප්රදේශවලම පදිංචි කර අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නැවත පදිංචි කිරීමේ අංශය පවසයි.
එම අංශයේ වාර්තා අනුව තවදුරටත් උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි කිරීමට ඇත්තේ පවුල් 2,327ක් බව අනාවරණය වෙයි. එම පිරිසද කඩිනමින් පදිංචි කිරීමට කටයුතු කරන බව එම අංශය සඳහන් කරයි.
දැනට පදිංචි කිරීමට ඇති පවුල් 2,327න්, පවුල් 152ක් අවතැන්වූවන් ජීවත්වන සුබසාධන මධ්‍යස්ථානවල ජීවත්වන අතර, ඉතිරි පවුල් 2,175 අවතැන්වූවන් ජීවත්වන සුබසාධන මධ්‍යස්ථානවලට ඇතුළත් නොවී නෑදෑ හිතවතුන් සමග ජීවත්වන බවද එම අංශය ප්‍රකාශ කරයි.
එල්.ටී.ටී.ඊ. යුධමය තත්ත්වය හේතුවෙන් අවතැන්වූ පවුල් 271,171ක් මේ වනවිට නැවත පදිංචි කරවා ඇති අතර, ඔවුන් උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, මන්නාරම දිස්ත්‍රික්කවල හා නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර යන දිස්ත්‍රික්ක 08හි පදිංචි කරවා තිබේ.
යුද්ධයෙන් අවතැන්ව සරණාගතභාවය පතා ඉන්දියාවට ගොස් සිට මෙරටට පැමිණෙන පවුල්වලට හා අවතැන්ව මෙරට රැඳී සිටි පවුල්වල මූලික අවශ්‍යතා සපුරා ගැනීමට රජය මගින් රුපියල් 38,000ක ආධාර මුදලක් ලබාදෙන බවද එම අංශය පවසයි. එමෙන්ම ඔවුන්ට රාජ්‍ය නොවන සංවිධාන මගින්ද ආධාර මුදල් ලබාදෙන බව එම අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
ඉඩමක් ඇති පුද්ගලයන්ට තාවකාලිකව නිවසක් ඉදිකර ගැනීමට රුපියල් 25,000ක්, ඉඩම සුද්ධ කර ගැනීමට රුපියල් 5,000ක්, අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට රුපියල් 3,000ක් හා ආහාර නොවන අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීමට රුපියල් 5,000ක් වශයෙන් එම ආධාර මුදල් ලබාදෙනු ලැබේ.
උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන් පුද්ගලයන් සඳහා නිවාස ලබාදෙනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය මතයි. එහිදී නිවාස ලබාදෙන්නේ මුල් පවුල් සඳහා පමණි.
ඒ අනුව අවතැන්වූවන් සඳහා නිවාස 148,848ක් ඉදිකර තිබේ. රජය මගින් මෙන්ම ඉන්දියානු ආධාර හා රාජ්‍ය නොවන සංවිධානවල ආධාර මගින් මෙම නිවාස ඉදිකර ඇති බවද වාර්තා වේ.