51% ක කොටස් අයිතිය රජය සතු වන 49% ක කොටස් අයිතිය පෞද්ගලික අංශයේ සමාගම් දෙකක් සතුවන සීමාසහිත ගල්ඔය (පෞද්ගලික) සමාගමේ පරිපාලන තීරණ ගැනීම සම්බන්ධයෙන් වැඩි බලතල පෞද්ගලික සමාගම් දෙක සතු වන්නේ කෙසේද යන්න පිළිබඳ කෝප් කමිටුවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සිමාසහිත ගල්ඔය වැවිලි (පෞද්ගලික) සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරීන්ගෙන් විමසීය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට බඳුන් විය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කෝප් කමිටුවේ සභාපතිවරයා සඳහන් කළේ මෙහි අධ්‍යක්ෂක මණ්ඩලය 9 දෙනෙකුගෙන් සමන්විත වන බවත් ඉන් 5 දෙනෙකු රාජ්‍ය අංශය නියෝජනය කරන බවත් 4දෙනකු පෞද්ගලික අංශය නියෝජනය කරන බවත්ය. ඉන් එක් නිලධාරියෙකු මේ වන විට ඉල්ලා අස්වී ඇති බවද මෙහිදී සඳහන් විය. නමුත් මෙම සමාගම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී වෙනමම පරිපාලන කළමනාකරන සමාගමක් LOLC සමාගම යටතේ පිහිටා ඇති බව ඔහු සඳහන් කළේය.
මෙහිදී පැමිණ සිටි නිලධාරීහු පැවසුවේ අදාළ ගිවිසුමෙන්ම පරිපාලන තීරණ ගැනීම සම්බන්ධයෙන් වැඩි බලතල පෞද්ගලික අංශයේ සමාගම් දෙක සතු වන බවයි.
විශේෂයෙන්ම මෙහිදී කෝප් කමිටුවේ සභාපතිවරයාගේ වැඩි අවධානය යොමු වූයේ 51% ක හිමිකම සතු රජයේ අංශයට මෙම සමාගම සම්බන්ධයෙන් හිමිවන බලතල පිළිබඳව සහ 49% ක කොටස් හිමි පෞද්ගලික අංශයේ සමාගම් දෙක සතුවන බලතල මොනවාද යන්න පිළිබඳව ය.
එසේම 2010 වර්ෂයේදී අත්සන් කරන ලද ගිවිසුම අවසන් වීමට පෙර තවත් වසර දහයකට එනම් 2030 වර්ෂය වනතුරු නැවත ගිවිසුම්ගත වීම පිළිබඳවද මෙහිදී කෝප් කමිටුවේ අවධානය යොමු විය.
මෙම තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාවක් විගණන දෙපාර්තමේන්තුව විසින් ඊයේ දින ඉදිරිපත් කළ අතර එම වාර්තාවද විමසා මේ සාකච්ඡාව සිදුකළ යුතු බව කෝප් සභාපතිවරයා පැවසීය. ඒ අනුව සීමාසහිත ගල්ඔය වැවිලි ( පෞද්ගලික ) සමාගම සම්බන්ධයෙන් වන මෙම විමර්ශනය දෙසැම්බර් මස 6 වන දින දක්වා කල් තැබීය.