මෙරට පුරාණ ඉතිහාසයේ මුදල් භාවිතයේ ආරම්භය පිළිබඳ නිශ්චිතව සනාථ කළ නොහැකි වුවත්, මෙරට විවිධ කාල වකවානුවලදී විවිධ වූ මුදල් වර්ග භාවිත කළ බවට සාධක හමුවී ඇත.
පුරාවිද්‍යාත්මක හා ඉතිහාසගත සාක්ෂි යන මූලාශ්‍රවලින් මේ සම්බන්ධ තොරතුරු හඳුනාගත හැකිය. ඒ අනුව මෙරට පුරාණ යුගයන්හි භාවිත වූ මුදල් වර්ග ලෙස,
01) කහපණ
මෙරට අතීතයේ මුදල් භාවිත වූ බවට හමුවන පැරණිම සාධකය වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාම්පිට විහාරයේ වූ ක්‍රි.පූ. 03 වන සියවසට අයත් ශිලා ලිපියකි.
එම ලිපියෙහි 'කහපණ, කර්ෂපාන' යන්නෙහි තේරුම එකල භාවිත වූ මුදල් විශේෂයක් බවට විශ්වාස කෙරේ. මීට අමතරව 'කර්ෂපාන' නම් මුදල් විශේෂයක් පිළිබඳ සිංහල බෝධි වංශය කෘතියේද සඳහන් වේ.
02) කහවනු
මෙරට අතීතයේ 'කහවනු' නම් මුදල් විශේෂයක භාවිත වූ බව මහානාම හිමියන් විසින් රචනා කරන ලද මහා වංශයේ සඳහන් වේ. එහි සඳහන් ඇතැම් වැකිවලින් ඒ බව විස්තර වේ.
උදා - දුටුගැමුණු රජු විසින් ලෝවාමහාපාය ඉදිකිරීමේදී එහි දොරටු සතරෙහි කහවනු අට ලක්ෂය බැගින් තැන්පත් කළ බව සඳහන් වේ.
මේ අතර අනුරපුර සිදුකරන ලද කැණීම් කටයුතුවලදී හමු වූ කාසිවලට අනුව රන්, රිදී හා තඹ යන ලෝහයන්ගෙන් මෙම කහවනු නිර්මාණය කර තිබේ.
03) මසුරන්
අතීතයේ භාවිත වූ 'මසුරන්' නම් මුදල් විශේෂයක් පිළිබඳ බෞද්ධ ග්රන්ථ රාශියක හා විවිධ රජවරුන් විසින් ඉදිකරන ලද ශෛලමය ලිපිවල සඳහන් වේ.
ඒවායෙහි මසුරන්, රන්, රන්මුසු යන නම්වලින් හඳුන්වා ඇත්තේ මුදල් විශේෂයක් බව හඳුනාගෙන ඇත.
04) නික්ඛ / නික්ඛල
අතීතයේ මෙරට 'නික්ඛ' නම් මුදල් විශේෂයක් භාවිත වූ බවට සාක්ෂි චූලවංශයේ සඳහන් වේ. එහිදී පළමු පැරකුම් රජු විසින් බුරුමයෙන් ඇතුන් ගෙන්වා ගැනීම සඳහා 'නික්ඛල' නම් කාසි විශේෂයක් භාවිත කළ බවට සඳහන් කර තිබේ.
මීට අමතරව පොළොන්නරු යුගයේ රචිත අභිධානප්පිදීපිකාවෙහි නික්ඛ නම් කාසි විශේෂයක් පිළිබඳ තොරතුරු අන්තර්ගතව ඇත.
05) ලක්ෂ්මි කාසි
'ලක්ෂ්මි කාසි' නම් මුදල් විශේෂයක් අනුරාධපුර, කඳුරුගොඩ, වල්ලිපුර, මන්නාරම, හලාවත සහ තිස්සමහාරාමය යන ප්‍රදේශවල සිදුකරන ලද කැණීම්වලදී හමුවී ඇත.
මෙම කාසි විශේෂය ක්‍රි.පූ 03 සියවසේ සිට ක්‍රි.ව. 08 වැනි සියවස දක්වා මෙරට අනෙකුත් මුදල් ඒකකයන් සමග භාවිත වූ බව අනාවරණය වී ඇත. විශේෂයෙන් මෙම කාසිවල ලක්ෂ්මි දේවියගේ යැයි සැලකෙන හිටි සහ හිඳි රූපයන් දැක්වේ.
06) මස්ස
මෙම කාසි විශේෂය පොළොන්නරු යුගයේ සිට දඹදෙණි යුගය දක්වා විකාශනය වූ කාසි විශේෂයක් ලෙස හඳුනාගත හැකිය. පසුකාලීනව මෙම කාසි විශේෂය 'දඹදෙණි මස්ස' ලෙස හැඳින්විණි.
මෙම කාසි විශේෂය පොළොන්නරු, දඹදෙණි, යාපහුව සහ කොට්ටේ යුගය දක්වා භාවිත වී තිබේ. කොට්ටේ යුගයේ භාවිත වූ කාසි කිහිපයක් යාපනය ප්‍රදේශයේ සිදුකරන ලද කැණීම් කටයුතුවලදී හමුවී තිබේ.
07) පණම
මෙරට ඉතිහාසයේ 'පණම' නම් කාසි විශේෂයක් භාවිත වූ බවට පැරණි බෞද්ධ මූලාශ්‍ර ග්රන්ථ කිහිපයක සඳහන් වේ.
විශේෂයෙන් මෙම කාසි විශේෂය ගම්පොළ යුගයේදී භාවිත කළ බවට ගඩලාදෙණිය, ලංකාතිලක යන විහාරවල ඇති පර්වත ලිපිවලත්, නියම්ගම්පාය සෙල්ලිපියෙහිත් සඳහන්ව ඇත.