ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රතිසංවිධාන කටයුතු සිදුකිරීමේදී පක්ෂයේ මහලේකම් තනතුරේ හා උප ලේකම් තනතුර විශේෂයෙන් වෙනස් කළ යුතු බවට ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සැලසුම් කර තිබේ.
පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ සංචාරය නිමවීමෙන් පසු මේ මස 18 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමටනියමිත බවද එම පිරිස් පෙන්වා දෙති.
මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධූරය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දරණ අතර උපලේකම්වරයෙකු ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා කටයුතු කරයි.
මීට අමතරව සන්ධාන මහලේකම් ධුරයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉවත් කළයුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ මතය වී තිබෙන බවද වාර්තාවේ.
විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමට තීරණය කර තිබියදී කිසිදු හේතුවක් නොමැතිව ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීමේ තීරණය මහලේකම්වරුන් දෙදෙනා විසින් තනි කැමැත්තට තීරණය කිරීම මූලික කරගනිමින් මොවුන් තනතුරුවලින් ඉවත් කළයුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මතයක් නිර්මාණයවී තිබෙන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සඳහන් කරති.
මෙම කුමන්ත්‍රණය සඳහා තවත් ප්‍රබල අමාත්‍යවරයෙකුද මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙන බවද එම පිරිස් පෙන්වා දෙති.