වකුගඩු රෝගය වැළඳී ඇති රෝගීන්ට මේ වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 3000ක මාසික දීමනාවක් ලබාදෙන බවට වර්තමාන ආණ්ඩුව කෑ මොර දුන්නත් මෙතෙක් එම දීමනාව ලබා දී තිබෙන්නේ අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කවල රෝගීන්ට පමණක් බව වකුගඩු සුරැකීමේ ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.
එසේම එම දිස්ත්‍රික්ක දෙකේ රෝගීන්ටද මෙතෙක් ලබා දී තිබෙන්නේ එක් වාරිකයක් පමණක් බවත්, වකුගඩු රෝගීන්ට රුපියල් 3000ක මාසික දීමනාවක් ලබාදීමේ වැඩපිළිවෙළ දේශපාලන වාසි ලබාගැනීමට සිදුකළ ව්‍යාපෘතියක් බවට පත්ව තිබෙන බවත් එම සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුව යටතේ මාසිකව රුපියල් 3000ක මුදලක් ලබාදෙන බව පවසා එතෙක් වකුගඩු රෝගීන්ට ලබාදුන් රුපියල් 500ක මාසික දීමනාවද කපා දමා තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
'අද' මේ පිළිබඳව සමාජ සේවා හා සුභසාධක අමාත්‍ය පී.හැරිසන් මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පොළොන්නරුව, අනුරාධපුර දිස්ත්‍රික්කවල වකුගඩු රෝගීන්ට දෙවැනි වාරිකය ලබාදීම ලබන සතිය තුළදී සිදුකරන බවය. මීට අමතරව අනෙකුත් දිස්ත්‍රික්ක වල සිටිනා වකුගඩු රෝගීන්ටද රුපියල් 3000 මාසික දීමනාව ලබාදීමට කටයුතු කරන බවත්, ඊට අදාළ තෝරාගැනීම සිදුකරනු ලබන්නේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන් විසින් බවත් ඒ මහතා පැවසීය.
ඒ අනුව මොනරාගල, කුරුණෑගල දිස්ත්‍රික්කවල වකුගඩු රෝගීන්ගේ ලැයිස්තුවක් තම අමාත්‍යාංශයට ලැබී තිබෙන බවත්, එම රෝගීන්ටද ඉදිරියේදී මෙම දීමනාව ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
රුපියල් 3000ක දීමනාව හිමිවන්නේ කෘමිනාශක, වල්නාශක නිසා වකුගඩු රෝගයට ලක්වූ රෝගීන්ට පමණක් බවත්, එම තෝරාගැනීම සිදුකරනු ලබන්නේ වෛද්‍ය නිලධාරීන් බවද සඳහන් කළේය.
එමෙන්ම රුපියල් 500ක දීමනාව නවතා දමා තිබෙන්නේ රුපියල් 3000ක දීමනාවට හිමිකම් කියනා රෝගීන්ගේ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.