'හඳහාමී රන් තරුකැට දෙකක් එවන්න', 'පන්සල් ගියපු කුසුමාසන දේවි', 'රෝස මලක් වගේ' වැනි ළමා ගීත ගායනා කළ ඇය හපන් පැදුරේ පළමු කණ්ඩායමේ සාමාජිකාවකි.
ගායිකාවක ලෙස කටයුතු කිරීමට වැඩි ආසාවක් දක්වන ඇය, රංගනයෙන් ප්‍රධාන චරිතයකට දායක වූ ප්‍රථම වේදිකා නාට්‍යයෙන්ම ඇගයීමට ලක්වූවාය. ඒ මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්රවෙමිනි. ඇය නමින් දිනූපා කෝදාගොඩය. මේ කතාබහ ඇය සමගය.
Q වේදිකා නාට්‍යවලට රංගන ශිල්පිනියක ලෙස දායක වෙන්න ලැබීම හා පැමිණි ගමන්මග ගැන කතා කළොත්?
මම වේදිකා නාට්‍ය ක්ෂේත්රයට දායක වෙන්න පටන් අරගෙන කෙටි කාලයක් වෙන්නෙ. 2011 මම මුලින්ම වේදිකා නාට්‍යකට සම්බන්ධ වුණා. ඒ සුජීව ප්‍රියලාල්ගේ 'සෙනෙහෙබර ධනුද්ධර' කියන වේදිකා නාට්‍යයට. ඒ වේදිකා නාට්‍යය නිර්මාණයේ ගීත ගායනය ඉදිරිපත් කරන්නත් මට අවස්ථාව ලැබුණා. 'මකරාක්ෂයා', 'ධවල භීෂණ' වැනි නව නිෂ්පාදනවලට දායක වෙන්න හැකියාව ලැබුණා.
මට රංගනයෙන් දායක වෙන්න ලැබුණු පළමු වේදිකා නාට්‍යය 'සෙනෙහෙබර ධනුද්ධර' වේදිකා නාට්‍යය. ඉන්පසුව 'ගිරිකූථ කාශ්‍යප' කියන වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වෙන්න හැකියාව ලැබුණා. මම කුඩා කාලේ සිට ගායනයට හා නර්තනයට වැඩි කාලයක් වෙන්කළේ. රංගනයට යොමුවීම අහම්බෙන් සිදුවුණු දෙයක් කිව්වොත් හරියි. 'ගිරිකූඨ කාශ්‍යප' නාට්‍යයට රංගනයෙන් දායක වීමට මූලිකම හේතුව බවට පත්වුණේ එය ගීතමය නාට්‍යයක් බවට පත්වීම.
Q ඔබ ප්‍රධාන චරිතයකින් දායක වූ පළමු නිර්මාණයටම සම්මාන ලබාගන්න හැකියාව ලැබෙනවා. ඒ චරිතය ගැන කතා කරමු?
මම ප්‍රධාන චරිතයකින් දායක වුණු පළමු වේදිකා නාට්‍යය තමයි 'ගිරිකුඨ කාශ්‍යප' කියන වේදිකා නාට්‍යය. ඒ චරිතයට දායක වෙද්දි හොඳම නිළිය සම්මානය ලබාගැනීමේ බලාපොරොත්තුවක් මා තුළ තිබුණෙ නැහැ. රාජ්‍ය නාට්‍ය උලෙළේ නාට්‍ය වේදිකාගත කිරීමෙන් අනතුරුව මට හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ නාට්‍යයට දායක වීමට පෙර කොළඔ විශ්වවිද්‍යාලයේදී තරුණ අධ්‍යක්ෂකවරයෙකුගේ කෙටි චිත්‍රපටයකට දායක වුණා.
පසුව ආනන්ද අබේනායක මහතාගේ 'සංසාරේ පියසටහන්' පෝය නාට්‍යයට සහ 'කිරි සුවඳ' කියන නාට්‍යයට දායක වුණා. ඒ දේවල් නිසා රංගනය ගැන ලොකු විශ්වාසයක් මා තුළ නිර්මාණය වී තිබුණා. ඒ දේවල් නිසා කාශ්‍යප දේවියගේ චරිතය අභියෝගයක් ලෙස භාරගත්තා. මම ප්‍රධාන විෂය ලෙස හැදෑරුවේ කතක් නර්තනය. භාව නිරූපණය කරන කොටසකුත් එහි තිබුණා. රංගනයට එයත් යම් අභ්‍යාසයක් වුණා කියලා මම හිතනවා.
Q ගායනයට වැඩි කාලයක් ලබාදුන්නත් එහි ඇගයීමකට ලක්වෙන්න හැකියාව ලැබී නැහැ?
ඔව්. මම ගායනය හැදෑරීම් කටයුතුවල වැඩි වශයෙන් නිරතවී සිටින්නෙ .හදාරලා යමක් කරනන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ. තවම මගේම නිර්මාණයක් මම කරලා නැහැ. ඉදිරියේදී මගේම නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ගීතය රචනා කළේ චරිත් සේනාධිර අයියා. එය සංගීතවත් කරන්නෙ මගේ සැමියා නදීක වැලිගොඩපොළ, ඒ ගීතය එළිදක්වන්නත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.
Q රංගන ශිල්පිනියක ලෙස තිබෙන ඉදිරි සැලසුම් මොනවද?
'ගිරිකූඨ කාශ්‍යප' නාට්‍ය එක්ක සම්බන්ධ වෙලා ඉන්නකොට මට අවස්ථාව ලැබුණා තවත් වේදිකා නාට්‍යවලට දායක වෙන්න. මේ වනවිට අනූෂා සුභසිංහගේ 'නොමළ කෝළම්' කියන නව නිෂ්පාදනයකට දායක වෙලා ඉන්නවා. එය පර්යේෂණාත්මක නාට්‍යයක්. එය අප්‍රේල් 29 හා 30 ඔස්ට්‍රේලියාවේ මෙල්බන්වල රංගගත කරනවා. සොක්රටීස් ඔපෙරා එකට සම්බන්ධව වැඩ කරනවා. රංගන අවස්ථා ලැබුණොත් ඒ දේවලත් නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා
Q 'නොමළ කෝළම්' නාට්‍යයේ චරිත දායකත්වය ගැන කතා කරමු?
අනූෂා සුභසිංහගේ නාට්‍යය කෝලම් නාට්‍ය, නූතන කෝලම් නාට්‍යයක් ලෙස හැඳින්වීම වඩා සාධාරණයි. ඉංග්‍රීසි මාධයෙන් ඒ නාට්‍යය ඉදිරිපත් කෙරෙන්නෙ. පහතරට නර්තනය, ගායන ශෛලීන් උපයෝගී කරගෙන ඒ නාට්‍යය ඉදිරිපත් වෙන්නෙ. අද සමාජයේ දකින්නට ලැබෙන චරිත හයක් දකින්න ලැබෙන්නෙ.
Q රූපවාහිනිය වැනි ජනප්‍රිය මාධ්‍යයට යොමුවීම ගැන ඔබේ අදහස?
නිතරම රූපවාහිනියේ දකින්න ලැබෙන ටෙලිනාට්‍යයවලට එතරම් කැමැත්තක් නැහැ. මම බලන්නෙ මගේ අධ්‍යාපනික දැනුම වැඩි කරගන්න හැකි නිර්මාණයකට දායක වෙන්න තමයි.
Q ආර්ථකය කියන සාධකයේදී ඒ තෝරාගැනීම් බාධාවක් නේද?
එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැනට නිදහස් කලාකාරියක ලෙස කටයුතු කරනවා. ඒකට වෙන විකල්පයක් පරිස්සමින් සොයාගත යුතුයි කියලා තමයි මම හිතන්නෙ. මට හිතෙනවා එයින් කලාකරුවෙක් ලෙස වටිනාකමක් ලැබෙනවා කියලා. අපේ රටේ කලාකරුවෙක් ලෙස කාලයම වැයකරන විට ආර්ථිකමය වශයෙන් ලොකු ප්‍රශ්න තිබෙනවා.
Q කලාකාරිනියක ලෙස පැමිණි ගමනේදී ඔබට සහයෝගය දුන් පිරිසක් ඇති?
මුලින්ම මගේ දෙමව්පියන්, කුඩා කල සිට මම කැමැති ක්ෂේත්රවල අධ්‍යාපනය ලබන්න ලොකු සහයෝගයක් ලබා දුන්නා. ස්වාමි පුරුෂයත් එහෙමයි .ඒ වගේම මගේ ගුරුවරුන් මතක් කළ යුතුයි. මේ සම්මානය ලැබෙන්න විශේෂ හේතුවක් මගේ ගායන හැකියාව. මුලින්ම නන්දා මාලිනියන්ට ස්තුතිවන්ත විය යුතුයි.
ඇය තමයි මගේ ගායන හැකියාව මුලින්ම හඳුනා ගත්තෙ. පසුව මංජුලා සෙනෙවිරත්න මහත්මියගෙන් හින්දුස්ථානි රාගධාරී සංගීතය හැදෑරුවා. ප්‍රේමසිරි කේමදාස මතක් කළ යුතුයි. ඉතාම කෙටි කාලයක් ඉගෙන ගන්න හැකිවුණා, අභිනය ඔපෙරාවටත් සම්බන්ධ වෙන්න හැකිවුණා. ඒ හරහා මම අත්දැකීම් රැසක් ලබාගත්තා. බියෙට්‍රිස් වීරසිංහ මගේ නර්තන ගුරුවරියත් මතක් කළ යුතුයි.