සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 254 කට සීමාකිරීමට එසෙක්ස් පන්දු යවන්නෝ සමත් වූහ.
ශ්‍රී ලංකා එංගලන්ත තරගාවලියේ පළමු පුහුණු තරගය ලෙස චෙල්ම්ස්ෆෝඩ් ක්‍රීඩාංගණයේදී ඊයේ (08දා) ඇරඹුනු මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය. දිමුත් කරුණාරත්න හා කෞෂාල් සිල්වා ආරම්භක පිතිකරුවන් ලෙස ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 16 ක් වනවිට ඔවුන් දෙදෙනාම ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට 18 හැවිරිදි ආරොන් බෙයාර්ඩ් සමත් විය.
කෙසේ වෙතත් ටෙස්ට් තරග 03 ක් පමණක් ක්‍රීඩා කර ඇති නවක ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් පන්දු 106 කදී ලකුණු 66 ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කිරීමට සමත් විය. එමෙන්ම ටෙස්ට් තරග 4 කට පමණක් එක්වී ඇති නිරෝෂන් දික්වැල්ල ලකුණු 53 ක් රැස් කළේය.
නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 30 කට හා උප නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 27 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම යම් ස්ථාවරත්වයකට ගෙන ඒමට වෙහෙසක් දැරූහ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 7 බිඳු වැටුණේ ලකුණු 127 ක් තුළදීය.
එසෙක්ස් කණ්ඩායම වෙනුවෙන් බෙයාර්ඩ් පන්දුවාර 16 කදී ලකුණු 62 කට කඩුලු 04 ක් දවාළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.