ශ්‍රී ලංකාවේ ණය බර පිළිබඳව අදහස් ප්‍රකාශ කර සිටීමෙන් රට දියුණු නොවන බවත්, ගම්බද හා නගරබද කුසලතා පිරුණු පුද්ගලයන්ට නිසි තැන ලැබේ නම් රට වසර 10කින් දියුණු වන බවත් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
අද (31දා) හෙට්ටිපොලදී පැවැති ඉදිකිරීමක් ආරම්භ කිරීමකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
“පක්ෂ පාට භේදයෙන් තොරව අප සියලු දෙනාම මේ රටේ ඉදිරි ගමන ගැන කල්පනා කරනවා නම්, මේ රටට ඔය කියන තරම් මහා පරිමාණ අපල, ප්‍රශ්න නොයෙක් කාරණා නැහැ. මේ රට විද්‍යානුකූලව වසර 10ක් ගියා නම් මේ රට ඉබේම ශක්තිමත් බලගතු රටක් වෙනවා.
මේ රටේ ඕනෑම ආයතනයක් කුසලතාවයට මුල්තැන දෙනවා නම් හදන්න පුළුවන්. එකම දේ අපේ රටේ අර පවුලෙන්ම එන්න ඕනේ, අර කණ්ඩායමෙන්ම එන්න ඕනේ, අර මිතුරු පන්තියෙන්ම මේ රට හදන්න ඕනේයි කියන ආකල්පය නිසා තමයි අපට ගොඩයෑමක් නැත්තේ. අපි ප්රජාතන්ත්රවාදයට, ගම්බද දූ පුතුන්ට, ඉඩකඩ දෙනවා නම් මේ රට විශ්වයටම ගෙනියන්න අනාගතයක් තිබෙන පිරිස් අපට ඉන්නවා.
මේ රට හදන්න බැහැ, මේ රටේ ධනපති පංතිය නැති කරනකන් මෙය සිදුවන්නේ නැහැ කිය කියන, එහෙම නැත්නම් මේ කල්ලි කණ්ඩායම් ඉන්නකම් මෙය වෙන්නේ නැහැ, ණය බර ගැන කතා කර කර හිටියට මේවා සිදු වන්නේ නැහැ. රාජ්‍ය ආයතන ණය බරෙන් මිදෙන හැටි මා පෙන්වා දුන්නා.
ගම්බද මෙන්ම නගරයේ කුසලතාවයට ඉඩ දෙනවා නම්, මේ පවුල් වාදය මේකෙන් අයින් වෙන්න ඉඩ දෙනවා නම්, ගජ මිතුරුකම මෙයින් ඉවත් වනවා නම් ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදයක් රටතුළ ඇති වෙනවා නම් මේ රට වසර 10කින් ශක්තිමත් ප්රබළ බලගතු රටක් වන බව මා දිව්රා ප්‍රකාශ කරනවා.” යැයි පැවැසුවේය.