මෙවර මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය අවම ආසන 113 සීමාවට ළඟාවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකි වුවද අගමැතිවරයා ලෙස පත්විය යුත්තේ, ඒ සඳහා මෙතෙක් අවස්ථාව අහිමිවූ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.
හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් අද (13දා) ජනාධීපතිවරයා මේ බව පවසා ඇත.
එමෙන්ම සන්ධානයට උපරිම ආසන ගණනක් ලබාගැනීමට හැකි වුවහොත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය ඉතිරි ආසන ලබාගැනීමට ජනාධිපතිවරයා ලෙස තමන් මැදිහත් වන බවත්, එවිටද අගමැති විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
සන්ධානයේ ප්රචාරක කටයුතු සඳහා තමාගේ ඡායාරූප භාවිත කරන ආකාරය දෙස තමන් උපේක්ෂා සහගතව බලා සිටින බවත්, මහින්ද රාජපක්ෂ මහතාත්, ඔහුගේ නමත්, ප්රතිරූපයත් කුණු කොල්ලයට ලංසු තබන මෙම මනාප මාෆියාව තවදුරටත් පැවතුණහොත් සන්ධානයේ පරාජය ලියවෙන්නේ ඒ මත විය හැකි බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ.
එමෙන්ම නිමල් සිරිපාලද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, චමල් රාජපක්ෂ, අතාවුද සෙනෙවිරත්න, සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා වැනි ජ්‍යෙෂ්ඨ නායකයන් මැතිවරණයෙන් පසුව අගමැති ධුරයට පත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ නම්‍යශීලීභාවය, පරිත්‍යාගශීලීභාවය සහ ආශිර්වාදය ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කරන ලෙස තමා ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා ලිපියෙන් මහින්ද රජපක්ෂ මහතාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.