පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 16ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 103ක පවුල් 228,906ක පුද්ගලයන් 899,235 ආපදාවට මුහුණපා සිටින බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පෙන්වා දෙන්නේ දිස්ත්‍රික්ක 16හි ගොවිබිම් අක්කර ගණනින් විනාශයට ලක්වෙමින් පවතින බවයි. එම ප්‍රමාණය කොතෙක්ද යන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තක්සේරු කිරීම් සිදුකරන බවත් අමාත්‍යවරයා පවසයි.
මේ අනුව විනාශයට ලක්වූ ගොවිබිම් හිමි ගොවීන්ට මාර්තු මස සිට මාස හතරක කාලයක් අඛණ්ඩව වන්දි ලබාදීමට රජය තීරණය කර ඇති බවත්, එහිදී විනාශ වූ කුඹුරු අක්කරයක් සඳහා රු.10,000ක වන්දි මුදලක් ගෙවීමටත්, සෙසු කෘෂි බෝග වගාවන්ටද මෙම වන්දිය ලබාදීමට සැලසුම් කර ඇති බවත් කෘෂිකර්ම හා ගොවි සංරක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
මේ වනවිටත් අධික වියළි කාලගුණයක් පවතින ත්‍රිකුණාමලය, කළුතර, ගම්පහ, හම්බන්තොට, මොණරාගල, මහනුවර, මාතලේ ආදී දිස්ත්‍රික්ක 16ක ජනතාව මෙසේ ආපදාවට මුහුණ දී සිටින බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි.
මේ අනුව දැඩි වියළි කාලගුණයක් සහිත දිස්ත්‍රික්කවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා දැනටමත් මුදල් අමාත්‍යාංශය රු.මිලියන 50ක ප්‍රතිපාදන වෙන්කර ඇති බවද පවසයි.
දිස්ත්‍රික් ලේකම්වරුන් මැදිහත්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමින් පානීය ජල අවශ්‍යතා සැපයීම සඳහා එනම්, ජලය සඳහා ගෙවීම්, ජල මූලාශ්‍ර පිරිසුදු කිරීම්, ජල බවුසර් රථ සඳහා ඉන්ධන, බවුසර් රියදුරන්ගේ සහ රිය සහායකයන්ගේ අතිකාල දීමනා හා පරිපාලන වියදම් ආදිය වෙනුවෙන් මේ වනවිටත් රජය රු.මිලියන 32ක් වියදම් කර අති බවත් පවසයි.
ඊට අමතරව, ලීටර් 1,000 ජල ටැංකි 2,370ක් පානීය ජල අවශ්‍යතා සඳහා සපයා දී ඇති අතර, තවත් ජල ටැංකි 3,000ක් ලබාගැනීමට ඇණවුම් කර ඇති බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.