එකතු කළ අගය මත බද්ද හෙවත් VAT බදු අනුපාතය එළැඹෙන මැයි 02 වැනිදා සිට 15% දක්වා ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණයෙන් මෙරට පහළ සහ මැදි ආදායම් ලබන ජනතාව වෙත වැඩි බලපෑමක් එල්ල වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙසේ වැට් බදු ඉහළ දැමීමත් සමගම දුරකථන හා සෘජුවම පාරිභෝගිකයා කෙරෙහි බලපාන තවත් බොහෝ පාරිභෝගික භාණ්ඩ වෙත මෙන්ම පෞද්ගලික සෞඛ්‍ය සේවා සහ පෞද්ගලික අධ්‍යාපන ගාස්තුද ඉහළ යනු ඇති බව කියැවෙයි.
වත්මන් අාණ්ඩුව විසින් 2016 වසරේදී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා හරහා එතෙක් පැවැති 11% ක වූ තනි අගයේ වැට් බදු අනුපාතය වෙනුවට 8% සහ 12.5% යනාදී ලෙස ද්විත්ව ආකාරයෙන් වැට් බදු අනුපාත හඳුන්වාදෙන ලදී. කෙසේ වෙතත්, මෙම බදු සංශෝධනය මෙතෙක් ක්‍රියාත්මක නොවීය. එහෙත්, පසුගිය මාර්තු මාසයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ලෝකයේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ පවත්නා දුර්වලතා හේතුවෙන් 15% ක තනි වැට් බදු අනුපාතයක් පවත්වා ගැනීම වඩාත් ආරක්ෂා සහගත විකල්පයක් බවය. එමෙන්ම, විදුලි සංදේශ සේවා, පෞද්ගලික අධ්‍යාපනය සහ පෞද්ගලික සෞඛ්‍ය මත ලබාදුන් බදු සහන ඉවත් කරන බවද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
එහිදී, මෙම වැට් බදු වැඩි කිරීම හරහා අඩු ආදායම් ලාභීන්ට පීඩාවක් ඇති වීමට ආණ්ඩුව ඉඩ නොතබන බවද කියා සිටි අග්‍රාමාත්‍යවරයා, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ විදුලිය සඳහා වැට් බදු නොපනවන බවත්, අත්‍යවශ්‍ය භාණ්ඩ නොවන තෝරාගත් තොග සහ සිල්ලර භාණ්ඩ කිහිපයක් මත පමණක් වැට් බදු පැනවීමට ක්‍රියාකරන බවත් කියා සිටියේය.
කෙසේ වෙතත්, වර්තමානයේදී කාර්තුවකට රු.මිලියන 3.7 ක පිරිවැටුමක් ලබන ව්‍යාපාර වැට් බද්දට යටත් වුවත්, එළැඹෙන මාර්තු 02 වැනිදා සිට මෙම පිරිවැටුම් සීමාව පහළ දමමින් රු.මිලියන 3 ක් ලබන ව්‍යාපාරද වැට් බද්දට යටත් වීමක් සිදුවන අතර, එමගින්ද මෙම වැට් බදු වැඩිවීම් වක්‍රාකාරයෙන් පාරිභෝගිකයා කෙරෙහි සෘණාත්මකව බලපානු ඇත.
වැට් බද්දට අමතරව, ජාතිය ගොඩනැගීමේ බද්ද හෙවත් NBT බදු සංශෝධනයක්ද මැයි 02 වැනිදා සිට සිදුවන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව, මෙතෙක් කාර්තුවකට රු.මිලියන 25ක පිරිවැටුමක් ලබන ව්‍යාපාර පමණක් NBT බද්දට යටත් වුවත්, එළැඹෙන මාර්තු 02 වැනිදා සිට කාර්තුවකට රු.මිලියන 3ක් ලබන ව්‍යාපාරද එම බද්දට යටත් වෙයි. එමෙන්ම, විදුලි සංදේශ සේවා, විදුලි සැපයුම්, ලිහිසි තෙල්, නිවාස ව්‍යාපෘති හැර සෙසු ව්‍යාපෘති සඳහා සපයන භාණ්ඩ හා සේවාද මින් ඉදිරියට NBT සඳහා යටත් වනු ඇත.
මේ අතර, වැට් බදු අනුපාතය ඉහළ නැංවීම පසුගිය අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණත්, එම කාලවකවානුවේදී ශ්‍රී ලංකාවට පැමිණ සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස හා ආණ්ඩුව අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා පැවැත්වී තිබුණි. එමෙන්ම, අලුත් අවුරුදු සමය අවසන් වනතුරු මෙම බදු සංශෝධනය සිදු නොකරන ලෙසට ජනාධිපතිවරයාද විශේෂ ඉල්ලීමක් කර තිබූ බවද දැනගන්නට ලැබේ.
මෙම බදු සංශෝධනයත් සමග සාමාන්‍ය පහළ ආදායමක් හෝ මැදි ආදායමක් ලබන පවුලක මාසික වියදම රු.10,000/- කින් හෝ ඊට වඩා ඉහළ යෑමේ හැකියාවක් පවතනි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. උදාහරණයක් ලෙස මාසිකව රු.2,500/- ක ස්ථාවර දුරකථන බිලක් ගෙවන පාරිභෝගිකයෙකුට අමතරව රු.375/- ක වියදමක් දැරීමට සිදුවනු ඇත. එමෙන්ම, මේ වනවිට සෑම පවුලකම බොහෝ සාමාජිකයන් අත අති ජංගම දුරකථන ගාස්තු කෙරෙහිද මෙම අමතර බදු බර බලපාන බැවින් එම වියදම්ද නිවසේ මාසික වියදමට එකතු වනු ඇත. එමෙන්ම, NBT බදු ගැළපීමත් සමග විදුලිය ගාස්තුවේද සැලකිය යුතු වැඩිවීමක් සිදුවනු ඇත. මෙම අමතර වියදම්වලට අමතරව පෞද්ගලික සෞඛ්‍ය සේවා සහ පෞද්ගලික අධ්‍යාපන ගාස්තුද මෙම බදු සංශෝධනය සමග ඉහළ යමින් එය පවුලේ මාසික වියදමට එකතු වීම සිදුවෙයි.
මෙම බදු සංශෝධනය සමග සිදුවන බදු ඉහළ යෑමේ ප්‍රවණතාව හේතුවෙන් කාර්යබහුල ජනතාව එදිනෙදා ආහාරපාන ලබාගන්නා අවන්හල් හා හෝටල් ආශ්රිත ආහාරපානවල මිල ගණන්ද ඉහළ යෑමක් අනිවාර්යයෙන්ම සිදුවනු ඇත.
ඒ අනුව, එළැඹෙන මැයි 02 වැනිදා සිට මුදල් අමාත්‍යාංශය විසින් මෙම බදු සංශෝධනය සිදු කිරීමට නියමිත බව නිවේදනය කර තිබේ. කෙසේ වෙතත්, මෙම බදු සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට රජයේ අභ්‍යන්තරයේ දැඩි කතාබහක් ඇති වී තිබෙන අතර, මෙය වත්මන් රජයේ පැවැත්මට අහිතකර ලෙස බලපානු ඇති බවට විවිධ පාර්ශ්ව පවසා තිබෙන බවද දැනගන්නට තිබේ. ඒ අනුව, රජයේ අභ්‍යන්තරයෙන්ම පැන නගින විරෝධතා හේතුවෙන් මේ බදු සංශෝධනය යළි හකුලා ගැනීමේ ඉඩක් පවතින බවද දැනගන්නට ලැබේ.
(වැඩිදුර තොරතුරු ද සන්ඩේ ටයිම්ස්)