එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදී සංවිධානය පරාජය කිරීමට ශ්රී ලංකා රජයේ ආරක්ෂක හමුදා දියත් කළ මානුෂීය මෙහෙයුම 2009 වසරේ දී අවසන් වීමෙන් පසු වසර 06ක් ගතවුවද එම යුද සැමරුම උතුරේත් දකුණේත් දේශපාලඥයන් හා දේශපාලන පක්ෂ එළැඹෙන මහ මැතිවරණයේ දී සිය ඡන්ද ප්රමාණය වැඩි කර ගැනීම වෙනුවෙන් යොදා ගන්නා තරගයක් බවට පත්ව තිබෙන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
උතුරේ දෙමළ ජාතික සන්ධානය හා කොටි ත්රස්තවාදීන්ට හිතවත් කණ්ඩායම් විසින් යුද සැමරුම එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් අඩු වැඩි වශයෙන් පැවැත්වීමට සූදානම් වී ඇති අතර දකුණේ දී රජය හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ පිරිස් මෙන්ම ප්රධාන දේශපාලන පක්ෂ හා සංවිධාන කීපයක්ම යුද සැමරුම් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
උතුරේ යුද සැමරුම දෙමළ ජාතිකයින්ට එරෙහිව ක්රියාත්මක කළ ජන ඝාතනයක් ලෙස හුවා දක්වමින් කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ මතවාදයට අනුව යමින් ඇතැම් පිරිස් කොටි හිතවාදී පසුබිමක සිට යුද සැමරුම පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ආරක්ෂක බුද්ධි අංශ ආරංචිමාර්ග දක්වයි.
මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්වන ගජේන්ද්ර පොන්නම්බලම්, ශිවාජිලිංගම් වැන්නන් කොටි හිතවාදී මතවාදයක සිටිමින් යුද සැමරුම් පැවැත්වීමට සංවිධානය කර තිබෙන බවටද වාර්තාවෙයි. එමෙන්ම උතුරේ ප්රධාන දේශපාලන ප්රවාහයක් වන දෙමළ ජාතික සන්ධානයද දකුණේ හා රජයේ දෝශ දර්ශනයට ලක් නොවී සිටීමේ පදනමක සිට එහෙත් උතුරේ දෙමළ ජනයාගේ ඡන්දය රැක ගැනීමේ අරමුනද ඇතිව යුද සැමරුමට දායක වී සිටියි. එහිදී දෙමළ ජාතික සන්ධානය කොටි හිතවාදී හා රාජ්ය විරෝධී නොවන ලෙස කණ්ඩායම් දෙකක් ලෙස බෙදී ඇති බවටද වාර්තාවෙයි.
දකුණේ යුද සැමරුම වෙනුවෙන් රජයේ නිල උත්සවය හෙට(19දා) මාතර දී සංවිධානය කර ඇති අතර එම සැමරුම වෙනදා මෙන් %විජයග්රහණයේ සැමරුම^ ලෙස නොව 'රණවිරු සැමරුම් පෙළපාලිය' ලෙස උතුරේ දෙමළ ජනතාවගේ සිත නොරිදෙන ආකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ පාර්ශ්වය 2009 යුද්ධය නිමාවීමේ සැමරුම සුපුරුදු ලෙස රණවිරු විජයග්රහණයක් ලෙසින් සැමරීමට කටයුතු යොදා තිබේ.
දකුණේ අනෙක් දේශපාලන පක්ෂද තමන්ගේ දේශපාලන මතවාදයට අනුව යමින් වෙන වෙනම යුද්ධය නිමා වීම සැමරීමේ සූදානමක් පවතී.
මහ මැතිවරණයක් ආසන්නයේ දී උතුරේ දෙමළ ජාතීන්ගේ ඡන්දයත් දකුණේ සිංහලයන්ගේ ඡන්දත් යුද්ධයේ නාමයෙන් දිනා ගැනීමට උතුරේත් දකුණේත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් උත්සාහ කරන බව මේ සැමරුම්වල ස්වභාවයෙන් තේරුම් යන බව දේශපාලන නිරීක්ෂකයන් ගේ අදහසයි.