ත්රස්තවාදයට නැවත හිස එසවිමට ඉඩ ලබානොදෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
පශ්චාද් යුද සමයේදී සංහිදියා පිළිවෙතක් අනුගමනය නොකළ බවත්, භෞතික සම්පත් ගොඩ නැගීමට පමණක් අවධානය යොමු කළ බවත් ජනපතිවරයා පැවැසීය. පශ්චාද් යුද සමයේදී නිවැරදිව කටයුතු නොකළ බවත් ඔහු සඳහන් කළේය.
මාතර වෙරළ උද්‍යානයේ පැවැත්වෙන බෙදුම්වාදය පරාජය කිරීමේ හය වැනි සැමරුමේදී ජාතිය අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.
යුද්ධය අවසන් කිරීමට කැපවුණු සියලු රාජ්‍ය නායකයින්ට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්තූතිය ප්‍රකාශ කළේය.
යුද්ධය ජයගැනීමට උරදුන් ත්‍රිවිධ හමුදාවට, පොලීසියට හා සිවිල් ආරක්ෂක බලකායටද ජනපතිවරයා ස්තූතිය ප්‍රකාශ කළේය.
ජනතාවගේ බිය සැක නැතිකරමින් සිය කටයුතු කාර්යක්ෂමව හා විධිමත්ව කළ යුතු බවත් ජනපතිවරයා සඳහන් කළේය.
සංවර්ධනය හා සංහිදියාව යන සටන් පාඨය එකවියට ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු පැවැසීය.
ජාතික ආරක්ෂාව සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත්, නව ජාතික ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බවත් ඔහු කීවේය.
ත්රස්තවාදයට හිස එසවීමට ඉඩ ලබානොදෙන බවත්, ආරක්ෂක අංශ මානව හා භෞතික සම්පත් වලින් සන්නද්ධ කරන බවත් ඔහු කීවේය.
රටේ ජනතාවට ලබා දිය යුතු සියලු අවශ්‍යතා නොපිරිහෙළා ඉටුකරන බවත්, අද දිනයෙන් රටට නව පිටුවක් පෙරළීම ආරම්භ කළ යුතු බවත් ඔහු කීවේය.
ජනපතිගේ සම්පූර්ණ කතාව
මේ රටේ මෑත යුගයේ අපට ලැබුණු ඓතිහාසික දිනයක් සමරන අවස්ථාවක්. විශේෂයෙන්ම වසර 30 කට ආසන්න ම්ලේච්ඡ ත්‍රස්තවාදය මේ රටින් අවසන් කර රටට සාමය ලබාදුන්නේ රටේ ඒකීයභාවය භෞමික අඛණ්ඩතාව රැක ගනිමින් මාතෘ භූමියේ ජාතියේ උරුමය ආරක්ෂා කළ දිනය විදිහටයි අද අපි මේ දිනය සමරන්නේ.
විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන්ගේ ම්ලේච්ඡ යුද්ධයේ අද්දැකීම් ඔබ අප සියලුදෙනාට තිබෙනවා. ඒ ම්ලේච්ඡත්වය තුළ සැබෑ ලෙසම මනුෂ්‍යත්වය පිරිහී ගොස් සත්‍ය යටපත් වී සාමය විනාශ වී ලේ වැගිරීම් තුළ ජීවිත දස දහස් ගණනින් අපිට අහිමි වුණා. කිසිම කලෙක යුද්ධයක් තුළ මානුෂීයත්වය ඇති වන්නේ නෑඅපි දන්නවා සැමවිටම. ත්රස්තවාදීන් කරනු ලබන ඒ නිසා අපට අපේ උතුම් මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් අපේ ශ්‍රේෂ්ඨ රණවිරුවන් යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක අංශවල ඒ සෑම කෙනෙක්ම ජීවිත පරිත්‍යාග කරමින් මේ සටන කරනු ලැබුවා.
අසූව දශකයේ මුල් භාගයේ ආරම්භ වූ යුද්ධය ඒ ගෙවී ගිය දශක කිහිපය තුළ ජාතියේ මහා ඛේදවාචකයක් බවට පත් වුණා. අපේ සංවර්ධනය ඇණහිටියා. ජනතාවගේ බලාපොරොත්තු සුන් වුණා. ඒත් ඒ සියල්ල තුළ අපේ රටේ ජනතාවත් ආරක්ෂක අංශ වල සියලුදෙනත් මා සඳහන් කළ පරිදි ජීවිත පරිත්‍යාගයෙන් මේ සටන ජයග්‍රහණය කිරීම සඳහා කැපවුණා. ඒ කැපවීම කළ ඔබ සියලු දෙනාටජාතියේ ගෞරවය ලැබෙනවා.
යුද්ධය ආරම්භ වූ අසූව දශකයේ සිට යුද්ධය අවසන් කරන්නට උරදුන් කැපවුණු රාජ්‍ය නායකයන් සියලුදෙනාටමත් ජාතියේ ගෞරවය හිමි කළ යුතු වෙනවා. අපේ ශ්‍රේෂ්ඨ රණවිරුවන් ඒ කළ උදාර ජාතික මෙහෙය අපිට මිල කරන්න වටිනාකම මෙච්චරයි කියලා සීමා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා ශ්‍රී ලංකා රජයේත් සමස්ත ශ්‍රී ලංකා ජනතාවගේත් ගෞරවය අපේ රණවිරුවන්ට නැවතවරක් අද දවසේ පුද කරනු ලබනවා. විශේෂයෙන්ම අප අවධානය කළ යුතු වෙනවා යුද්ධයක් මේ රටේ වසර 30 කට ආසන්න කාලයක් පැවැතීමට හේතු වූ කරුණු මොනවාද කියන ඒවා. වසර තිහකට ආසන්න කාලයක් පැවැති යුද්ධය ආරම්භවීමට ඊට පෙර දශක කිහිපය තුළ ඇති වූ සිද්ධීන් හා රජයන් කටයුතු කළ ආකාරය කොයි ආකාරයකටද කියා අපි අධ්‍යයනයක කළ යුතු වෙනවා.
1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගැනීමට මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් සියලු ජාතීන් සහෝදරත්වයෙන් කටයුතු කළා. ඒ යුගය තුළ සැබෑ නායකයන් තමන්ගේ වගකීම හා යුතුකම ජනතාව හා ඉටුකරනු ලැබුවා. 1948 අප ලබාගත් ඒ නිදහස මේ රටේ සියලු ජාතීන්, සියලු ආගම් සියලුදෙනාගේ එකමුතුවෙන් තමයි ඒ ජාතික නිදහස් අරගලය එදා ගෙනගියේ. ඒ තුළ අපිට ලැබුණු නිදහස සමග, ඉන් පසුව ජාතීන් අතර රට තුළ සමගිය, සහජීවනය, සංහිඳියාව ඇති කරගැනීමට ගත්තා වූ ක්‍රියාමාර්ග වල අඩුලුහුඬුකම් රාශියක් ඇති වුණා. ඒ නිසා ජාතීන් අතර අසමගිය ගොඩනැගුණා.
මෙහි අවසාන ප්‍රතිඵලය වුණේ ම්ලේච්ඡ යුද්ධයකට අප සියලුදෙනාම මුහුණ දීමයි. 2009 මැයි මාසයේ 18, 19 දෙදින වල යුද්ධය අවසන් වීමත් පසුව අපට එළැඹියේ සාමකාමී පරිසරයක් තුළ පශ්චාත් යුද සමයයි. අපේ රටේ වසර 30 කට ආසන්න මහා යුද්ධයක් අවසන් කරලා ඒ යුද්ධය අවසන් වීමත් සමග ඇති වූ රටේ නිදහස සාමකාමී පරිසරය තුළ පශ්චාත් යුද සමයේදී අප විසින් ඉටු කළ යුතු කාර්යයන් නිසි ලෙස ඉටු වුණාද කියලා කියන කාරණාව පිළිබඳව අපේ බුද්ධිය, ඥානය, ප්‍රඥාව, දැණුම, අත්දැකීම විශේෂයෙන්ම අප මෙනෙහි කළ යුතු වෙනවා. ඒ සියල්ල පාවිච්චි කරමින් එහිදී පශ්චාත් යුද සමයක් තුළ රටක කළ යුතු කාර්යයන් අප ඉටු කළාද කියලා කියන කාරණාව අප විශේෂයෙන්ම විමසා බැලිය යුතු වෙනවා.
මා හිතන්නේ එය ඉටු නොවුනා කියා. භෞතික සම්පත් සංවර්ධනයට මුල් තැන දුන්නා. ඒ තුළ ජාතීන්ගේ සංහිඳියාවක් සම්බන්ධයෙන් ප්රමුඛත්වයක් ලැබුණේ නැහැ. විශේෂයෙන්ම බිඳුණු ගොඩනැගිලි, බිඳුණු පාරවල්, කැඩුණු, විනාශ වූ භෞතික සම්පත් යළි ගොඩනැගීම ඇති වුණත්, බිඳුණු සිත් ගොඩනගන්නට පශ්චාත් යුද සමය සංහිඳියා පිළිවෙතක් පැහැදිලිවම රටක් විදිහට අප විසින් ක්‍රියාත්මක කිරීම සිදු වුණේ නැහැ. විශේෂයෙන්ම අපේ නවරජය විදිහට පැහැදිලිව සඳහන් කරන්නට ඕන නව රජයේ ප්‍රතිපත්තිය වන්නේ සංවර්ධනය හා සංහිඳියාවයි. සංවර්ධනය තුළ පමණක් සංහිඳියා පරමාර්ථ ඉටු කර ගැනීමට පුළුවන් වන්නේ නැහැ. සංහිඳියා පිළිවෙතක් පිළිබඳව කතා කරන විට සත්‍ය ගවේෂණය, යුක්තිය ඉටුකිරීම, සියලු ජාතීන් අතර බිය සැක, අවිශ්වාසය නැතිකිරීම සියලු ජාතීන් අතර රට තුළ විශ්වාසය, හොඳ හිත ඇති කර ගැනීම, යුද්ධයෙන් විනාශ වු භෞතික දේ නැවත ගොඩනැගීම කියන කරුණු ඉටුවීම අවශ්‍ය වෙනවා.
ඒ නිසා අපට ඒ යුද්ධයේ අද්දැකීම් සමග විශේෂයෙන්ම සංහිඳියා පිළිවෙතක තිබෙන්නා වූ ප්‍රමුඛතාව පැහැදිලිව තේරුම් ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. අවසන් යුද්ධය ආරම්භ වූයේ ගොවි ජනතාවගේ ජලය පිළිබඳව ඇති වූ ප්‍රශ්නයක් සමගයි. ඒ තුළ ගොඩනැගුණු තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම සාමය ළඟා කර ගැනීමේ අවසන් යුද්ධය ආරම්භ කිරීමට හැකි වුණා.
මාවිල්ආරු ජලය මතින් ඇති වූ යුද්ධය අවසන් වූයේ නන්දිකඩාල් ජලය මතින් කියලයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා සියලු දේවල් පිළිබඳව අවධානය යොමු කිරීමේදී අද දවසත්, හෙට දවසේත් අපේ වගකීම් හා යුතුකම් ශ්‍රී ලාංකේය ජනතාව වෙත සියලු ඉටු කළ යුතු වෙනවා. යුද්ධයේදී කරනු ලැබූ කැපවීම ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අපේ නව රජය ප්‍රතිපත්ති තුළ විශේෂයෙන්ම ජාතික සංහිඳියා පිළිවෙත ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා ප්‍රධාන වශයෙන් කැපවීමක් මේ වනවිටත් කරනු ලබන බව මා පැහැදිලිවම දන්නවා.
විශේෂයෙන්ම ජනතාව තුළ බිය සැක, අවිශ්වාසය නැති කරමින් සියලු දෙනා තුළම අන්‍යෝන්‍ය අවබෝධය ඇති කර ගනිමින් සෑම කෙනෙකුගේම වගකීම් හා යුතුකම් මෙනෙහි කරමින් අපේ කටයුතු කාර්යක්ෂමව හා විධිමත්ව කළ යුතු වෙනවා. අද රට තුළ අප විශේෂයෙන්ම තිබෙන්නා වූ අභියෝග ජයගැනීමට අද දවස වගේම හෙට දවස අපි කාර්යයන් ඉටු කිරීමේදී ඉතා පැහැදිලිවම සඳහන් කළේ සංවර්ධනය හා සංහිඳියාව කියන සටන් පාඨය. අපි එකම එකම ආකාරයකටම ක්‍රියාත්මක කිරීම ඉතාම අත්‍යවශ්‍ය වන්නා වූ කාරණයක්.
ඒ නිසා ඔබට මුළු මහත් ජාතියේම ගෞරවය පුද කිරිම අප විසින් ඉටු කරනවා වගේම ඔබට ඒ පිළිබඳව ලැබෙන ගෞරවය ජාතියේ ශක්තිය බවට පත් කරමින් ඔබේ ඉදිරි කටයුතුවලදී විශේෂයෙන්ම අපේ නව රජය විදිහට පැහැදිලිව සඳහන් කරනවා ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් අප මාතෘ භූමිය අනාගතය සඳහන් නව රජය විදිහට ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවට. විශේෂයෙන්ම ආරක්ෂක මණ්ඩලයීය රැස්වීම් වලදී ආරක්ෂක ප්‍රධානීන් වෙත අප විසින් දෙන්නා වූ උපදෙස් අනුව නව ජාතික ආරක්ෂක පිළිවෙතක්, නව ජාතික ආරක්ෂක සැලැස්මක් පිළිබඳව මේ වනවිට උපදෙස් දී මේ වනවිට කටයුතු සිදුවෙමින් පවතිනවා.
නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවීම පිළිබඳව වන වගකීම පැහැදිලිවම අපි පිළිගන්නවා. ත්රස්තවාදයට ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට මේ රටේ නැවත හිස එසවීමට කිසිසේත්ම ඉඩතබන්නේ නෑ. එහිදී සංවර්ධනය හා සංහිඳියා පිළිවෙත ශක්තිමත් කරනවා වගේම ත්‍රිවිධ හමුදාව ප්රමුඛ ආරක්ෂක අංශ පිළිබඳව අපේ දැඩි විශ්වාසයක් හා ගෞරවයක් තබා තිබෙනවා. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඒ සඳහා දිය යුතු භෞතික සම්පත් හා මානව සම්පත් ලබාදෙමින් විශේෂයෙන්ම හමුදා සේවාවන් තුළ අවශ්‍ය ශක්තිය වැඩි දියුණු කරමින් ඔබට ඒ සඳහා ක්‍රියා කිරීමට අවශ්‍ය ඔබේ වගකීම් හා යුතු කම් ඉටුකිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් පැහැදිලිවම සඳහන් කරන්න ඕන.
ඇතැම් වෙලාවට දේශපාලන ප්‍රතිවාදීන් වර්තමාන අප රජය කෙරෙහි බලන්නාවූ විවිධ කෝණයන්, විවිධ පැතිකඩයන් බලන විට අපට පෙනී යනවා ඇතැම් අංශවල අන්තවාදී අදහස්දරන පිරිස් ඉන්නවා. ජාතීන් අතර අසමගිය ඇති කිරීම සඳහා. ප්‍රධාන වශයෙන්ම අපි සඳහන් කරන්නට ඕන අන්තවාදී පිරිස් සියලු අංශවල අපේ රටෙත් ඉන්නවා. ලෝකයේ වෙනත් රටවලත් ඉන්නවා. ඒ අන්තවාදීන් විසින් කරනු ලබන වැරදි ප්‍රචාර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය ප්‍රතිපතිය තුළ අප ක්‍රියාත්මකවීමේදී ඉතා පැහැදිලිවම ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කරමින් ඔබට අවශ්‍ය ඔබේ වගකීම් හා යුතුකම් ඉටුකිරීමට සියලු සම්පත් ලබාදෙමින් ඔබ කෙරෙහි දැඩි විශ්වාසයෙන් අපි කටයුතු කරන්නේ.
ඒ නිසා විශේෂයෙන්ම මේ රණවිරු සැමරුම් උත්සවයේදී ජාතියේ සාමය ඇති වූ දිනය විදිහට ජාතීන් අතර සංහිඳියාව පිළිබඳව මුල්තැනදීමේ දිනයක් විදිහට අපි සලකමින් ඉදිරි අනාගතය තුළ කටයුතු කිරීම අපේ වගකීම් සියල්ල ඉටුකිරීමේදී අපි සියලු දෙනාගේ පුළුල් වගකීම් හා යුතුකම්වල කාර්යභාරය නිසි ලෙස ඉටුවෙනු ඇතැයි මා විශ්වාස කරනවා. අපේ ආදරණීය ජනතාව තිස් වසරක යුද්ධයේදී කරන ලද කැපවීම් සමග මේ රටේ සංවර්ධන තුළ රටේ ජනතාවට ලබාදිය යුතු සියලු ඔවුන්ගේ වරප්‍රසාද හා පහසුකම් සමාජ සුබසාධනය අපි නොපිරිහෙලා කිසිදු අඩුවකින් තොරව ඉටු කරන බව විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනෙ. අද දවසේ මේ උතුම් දිනයේ අපි සියලු දෙනාම සලකන්නේ ජාතියේ සාමය ඇති වූ දිනය ලෙසයි.
ඒ වගේම ඔබ සියලු දෙනාටම ගෞරව කරන දිනය ලෙස ඒ වගේම රටේ සංවර්ධනය හා සංහිඳියාව නව පිටුවක් පෙරළන දිනයක් ලෙස. ඒ නිසා නව රජය විදිහට මා මීට පෙර ප්‍රකාශ කළ ආකාරයටම සංවර්ධනය හා සංහිඳියාව මූලික තේමාව කොට ගනිමින් මේ රට ගොඩනගන්නට ඔබ අප සියලුදෙනාම එක් වෙමු. අද ජීවත්වන ජනතාවට වගේම හෙට උපදින දරුවන් සඳහා අපේ මාතෘ භූමිය වෙනුවෙන්, අපේ ජාතියේ යහපත වෙනුවෙන්, ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් , රටේ ඒකීයභාවය භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් අප සියලු දෙනාම කළ යුතු වගකීම් නිසි ලෙස අපි ඉටු කරමු. රජය විදිහට ඔබ සෑම කෙනෙක් කෙරෙහිම තබා ඇත්තේ දැඩි විශ්වාසයක් හා ගෞරවයක්. ඒ නිසා අද දවස අපි මේ රටේ ප්‍රධාන වශයෙන්ම නව පිටුවක් පෙරළන සාමයේ දේශයක් ලෙස ඉදිරියට ගෙන යන්න අධිෂ්ඨානශීලීව කටයුතු කරමු.