අත්අඩංගුවට පත්ව සිටින යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා කරන බවත් ඔවුන්ගෙන් නිසි පිළිතුරු නොලැබුණහොත් නියෝජ්‍ය ඇමති ධුර අත්හැරීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නියෝජ්‍ය අමාත්‍ය ධුර දරන ඇමතිවරු පිරිසක් ඊයේ (02) පැවසූහ.
ඒ යෝෂිත රාජපක්ෂ මහතා බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගොස් පැමිණ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. දැනට බන්ධනාගාරගතව සිටින යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනාගේ සුවදුක් විමසා බැලීම සඳහා හිටපු ජනාධිපතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරුන් පිරිස එකම වේලාවක් තුළ වෙන වෙනම බන්ධනාගාරය තුළට ගිය අතර පැයකට වඩා ඔවුහු එහි රැඳී සිටියහ.
පසුව මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් පිටව ගිය අතර, නියෝජ්‍ය ඇමතිවරුන් පිරිස මාධ්‍ය අමතමින් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් විසඳුමක් නොලැබුණහොත් නියෝජ්‍ය ඇමතිකම් අත්හැරීමට වුවද සූදානම් බවත්ය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීතිවිරෝධී ආයතනයක් බවත්, යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ දේශපාලනික වශයෙන් පළිගැනීමට බවත් ඔවුහු එහිදී සඳහන් කළහ.
මෙම අවස්ථාවට රාජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය සමග අනුරාධ ජයරත්න, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, නිමල් ලාන්සා, අරුන්දික ප්‍රනාන්දු, අර්ල් ගුණසේකර, සුසන්ත පුංචිනිලමේ, නිශාන්ත මුතුහෙට්ටිගම, රෝහණ දිසානායක ඇතුළු නියෝජ්‍ය ඇමතිවරු කිහිපදෙනෙක් එක්ව සිටියහ.
නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී සඳහන් කළේ මෙම ප්රශ්නය සමගියෙන් විසඳාගන්නැයි මහින්ද රාජපක්ෂ මහතාට බන්ධනාගාරය තුළදී තම කණ්ඩායම පැවසූ බවයි.
නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී අදහස් දක්වමින්,'ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අපට එෆ්.සී.අයි.ඩී. එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. මේ ආයතනය නීති විරෝධීයි කියන මතයේ අපි ඉන්නේ. අපි මේ සම්බන්ධව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදියි අපි මේ නියෝජ්‍ය ඇමතිකම් ලබාගත්තේ. ඒ වගේම අගමැතිවරයා යටතේ මේ ආයතනය තියෙන නිසා ඔහු සමගත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා' යැයි සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අදහස් දක්වමින්,'යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස බලලා අපේ ඊළඟ ක්‍රියාමාර්ගවලට යන්නයි අද ආවේ. මේ තීන්දුව කවුරු ගත්තත් දූෂිත එකක්. කිසිම නෛතික බලයක් නැති එෆ්.සී.අයි.ඩී. එක කරන දේශපාලන දඩයම නවත්වන්න කියලා අපි අභියෝග කරනවා.
අද මුළු රටම ලෑස්තියි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක මේ හිරහැරවලට එරෙහිව නැගිටින්න. නිදාගෙන ඉන්න සර්පයො අවුස්සලා කෑවෝ කෑවෝ ගාන්න එපා. අපි හදවතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු හැටියට කැමතියි මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන අත්වැල් බැඳගත් දේශපාලන ගමනක් යන්න. ඒකට විරුද්ධව ඉන්න එන්.ජී.ඕ. නඩෙත් එක්ක එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ඉඳලා සියලු දෙනා ගත්තු තීන්දු වැරදියි කියා අපි කියනවා.
අපට ඕන හෙට අනිද්දා වනවිට ශක්තිමත් තීන්දුවක් ගන්න. ඒකට නියෝජ්‍ය ඇමතිවරු හැටියට අපි සාකච්ඡා කරනවා. හෙට දවසේ අපි ගන්න තීන්දුව අනුව ශ්‍රී ලංකා එක දාලායන්නේ නෑ. නමුත් මේ නියෝජ්‍ය ඇමතිකම් දාලා ගිහින් හරි මේකට තීන්දුවක් ගන්න අපි ලෑස්තියි' යනුවෙන් පවසා සිටියේය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු