(VIDEO) සිය පාරම්පරික ජීවන රටාව අහිමි වීමත් සමග ආදිවාසී ජනතාව වකුගඩු, පිළිකා,අධික රුධිර පීඩනය, හන්දි ඉදිමීම, ස්නායු ආබාධ ඇතුළු විවිධ ලෙඩ රෝගවලට විශාල ලෙස ගොදුරුවී ඇතිබැවින් ඉක්මනින් විශේෂඥ වෛද්‍ය සායනයක් පවත්වන ලෙස ආදිවාසී නායක උරුවරිගේ වන්නයලැ ඇත්තෝ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ලිපියක් යවමින් ඉල්ලා ඇත.
මෙම ලිපිය ලැබුණු බවත් අදාළ විශේෂඥ වෛද්‍ය සායනය මාර්තු 13 වැනිදා පැවැත්වීමට උපදෙස් දුන්බවත් සෞඛ්‍ය ඇමතිවරයා අප කළ විමසුමකදී පැවසීය. උද්ගතව ඇති නපුරු කලදසාව පිළිබඳව අදහස් පළකළ ආදිවාසී නායකයා,
“කැලේ කොලේ නිදහසේ ඇවිදලා අලවර්ග සොයාගෙන ආහාරයට ගත් කාලයක් අපට තිබුණා. ඒවගේම කැලේ උල්පත් ජලය නැතිනම් වන සතුන් දියබොන වළවල්වලින් අපි ජලය පානය කළා. මීවදයක් කඩාගෙන කෑවා. ඒ දවස්වල මේවගේ රෝග කිසිවක් අපේ වරිගේ අයට වැලඳුණේ නැහැ.
පාරම්පරික උරුමයක් වූ වනය ආදිවාසීන්ට තහනම් කිරීමත් සමග බාහිර ලෝකයේ ආහාර රටාවට හා විවිධ ක්‍රියකාරකම්වලට වරිගේ අය ගොදුරුවීමත් සමග ඔවුන් විවිධ රෝගාබාධවලට ගොදුරු වී තිබෙනවා. මේතත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරෙන බැවින් අඩුම තරමින් විශේෂඥ වෛද්‍ය සායනයක්වත් පවත්වන්න යැයි මා ලිපියක් මගින් ඉල්ලා සිටියා.නමුත් මෙය ස්ථිර විසඳුම නොවෙයි.අපේ පාරම්පරික ජීවන රටාව අනුව ජීවත්වීම සඳහා වනයේ නිදහස් අයිතිය අපට ලබාදිය යුතුයි* යැයිද ආදිවාසී නායකයා අවධාරණය කළේය.
VIDEO