උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඇතුළු සිවු දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.
උතුරු පළාත් සභාවට ෆෙඩරල් යෝජනාවලියක් ඉදිරිපත් කරමින් රට බෙදීමට හා ත්රස්තවාදයක් යළි ඉස්මතු කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා කරමින් සිවිල් සංවිධානයක් විසින් මේ පිරිසට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකොට ඇති පෙත්සමකට අනුව ඔවුන් වෙත නොතීසි නිකුත් කර තිබේ.
මැයි මස 12,13 හා 17 යන දිනවලදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ප්‍රධාන අමාත්‍යවරයාට අමතරව නොතීසි ලැබී ඇත්තේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥාණම් හා එම පළාත් සභාවේ ලේකම් එස්. පද්මනාදන් යන පිරිසටයි.
රජයේ මීළඟ ව්‍යවස්ථා සංශෝධනයේදී උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කොට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරැකෙන අන්දමට ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබාදිය යුතු බවට උතුරු පළාත් සභාවේදී යෝජනාවක් සම්මත කොට එම යෝජනාව රජය වෙත ඉදිරිපත් කිරීම නිසා මේ පිරිස රටේ ඒකීයභාවයට පටහැණිව කටයුතු කර ඇති බවට ඔවුන් සිය පෙත්සම මගින් චෝදනා නගා තිබේ. මේ පිළිබඳව කළ විමසීමේදී උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥාණම් මහතා පැවසුවේ, තමන්ට මේ වනවිට එවැනි නොතීසියක් ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් දැනටමත් නීතිඥවරුන් සමග සාකච්ඡා කරමින් සිටින බවත්ය.
පළාත් සභාවේ සම්මත කරගත් යෝජනාවක් පළාත් සභාවට ඉදිරිපත් කළේ රට බෙදීමේ අවශ්‍යතාවක් මත හෝ එවැනි චේතනාවක් මත නොවන බව කී සභාපතිවරයා, අනාදිමත් කාලයක සිට උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු වී තිබූ බවද කියා සිටියේය.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට අවශ්‍ය නම් ඊට ගරු කරමින් පෙනී සිටින බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.