(UPDATE) රජයේ අමාත්‍යවරු සිවුදෙනෙක් අද (21දා) ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූහ. පවිත්‍රා වන්නිආරච්චි, ඩිලාන් පෙරේරා, මහින්ද යාපා අබේවර්ධන හා සී.බී. රත්නායක යන අමාත්‍යවරු මෙසේ ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූහ.
විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකින් අනතුරුව ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්වීම ප්‍රකාශ කළ අතර 20 වැනි සංශෝධනය සඳහා සහාය ලබාදෙන බවද ඔවුහු පැවැසූහ.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ
වත්මන් රජයේ ඇමති ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු අද (21) දින සිය ධුරවලින් ඉවත්වීමේ සූදානමක් පවතින බව 'අද' ට වාර්තා වෙයි.
ඒ අනුව කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවක දී මේ පිළිබඳව දැනුම් දෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් පාලන ආයතන 234ක් විසුරුවා හැරීමෙන් අනතුරුව එම ආයතන කොමසාරිස් පාලනයකට යටත් කිරීමට විරෝධය පළ කරමින් මෙසේ ඇමතිධුර අත්හැරීමට තීරණය කර ඇත්තේ එක් රාජ්‍ය අමාත්‍යවරියක්, කැබිනට් අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකි. ඔවුන් රත්නපුරය, මාතර, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක නියෝජනය කරන බව ද දැනගන්නට ලැබේ. මේ පිළිබඳව කළ විමසීමේ දී පිළිතුරු දුන් වත්මන් රජයේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් මෙසේ අදහස් දැක්වූහ.
-
රාජ්‍ය පරිපාලන හා ප්රජාතන්ත්රීය පාලන රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා,
තාම එහෙම තීරණයක් නෑ. අද (21) තමයි බලන්න වෙන්නේ. මම යනවා නම් කියලා යන්නේ. හැංගිලා යන්නේ නෑ. නමුත් තාම තීන්දුවක් නැහැ. ජනාධිපතිතුමා කිව්වේ කිසිම හේතුවක් නිසාවත් ජනතාවගේ පරමාධිපත්‍ය උල්ලංඝනය කරන්නෑ කියලා. එහෙමනම් පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයකට නොදමා ඡන්දයක් තියන්න ඕනෑ. බලමු හෙට අනිද්දා මොකද වෙන්නෙ කියලා.
-
නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා,
අද (21) විපක්ෂ නායක කාර්යාලයේ දී දේශපාලන කාරණා මුල් කරගනිමින් ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වනවා. එහි දී මේ පිළිබඳව අපි උත්තර දෙන්න සූදානමින් ඉන්නේ.
-
පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා,
පළාත් පාලන ආයතන විසුරුවා හැරි පසු ඇමති ධුර අත් හරිනවා කියලා අපි එකඟතාවකට පැමිණියේ නැහැ. මේ ගැන කතා කරන්න ඕන. අපි කියන්නේ පළාත් පාලන ආයතන විසුරුවා හැරියානම් ඉක්මනට ඡන්දයක් තියන්න කියලා. විසුරුවා හැරලා නිකන් ඉන්න එකේ තේරුමක් නැහැ.
ජනාධිපතිතුමා කිව්වනේ ජනතාවගේ ඡන්ද අයිතිය නැතිවෙන්නේ නැහැ කියලා. එහෙමනම් ඡන්ද අයිතිය දෙන්න. බලමු හෙට අනිද්දා මොකද වෙන්නේ කියලා. වෙන දෙයක් වේවිනේ.