-
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නොසැලකිල්ලෙන් නොසිතූ තත්ත්වයක්
-
ආණ්ඩු පක්ෂයට 32 යි, විපක්ෂයට 30 යි
-
විපක්ෂයට මන්ත්‍රීන්ට අනුව 31 – 31
2016 වර්ෂය සඳහා රජයේ සංවර්ධන වියදම් ලෙස රුපියල් මිලියන 55 ක් ලබාගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු පරිපූරක ඇස්තමේන්තුව වැඩි ඡන්ද 02කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) සම්මත විය.
එහෙත් මේ සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී පිරිසක් සිය විරෝධතාව දැක්වූ අතර, ඔවුන්ගේ මතය වූයේ විපක්ෂව වැඩිපුර ඡන්ද ලැබුණු බවයි.
එහෙත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ කාර්යාලයේදී සීසීටීවී දර්ශන නරඹීමෙන් පසුව පක්ෂව හා විපක්ෂව ඡන්ද 31 බැගින් ලැබී ඇති බව මහලේකම්වරයා පැවසූ බව විපක්ෂ මන්ත්‍රීවරු කියති. කෙසේවුවද පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව පනතක් සම්මත වීම පිළිබඳ මූලාසනය නිවේදනය කළ පසු එය අවසන් නිවේදනය වන අතර, එය අභියෝගයට ලක්කළ නොහැක.
මේ අතර, අද (06දා) උදෑසන 10 වනවිට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ රැඳී සිටින ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇති බව වාර්තා වේ. ඊයේ (05දා) ඇති වූ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුවත් කිරීමෙන් අනතුරුව නැවත ඡන්දයක් පැවැත්වීම හෝ සිය මතය ප්‍රකාශ කිරීම කථානායකවරයා සතු කාර්යයකි.
වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතරයක් තිබියදීත් ඡන්දය විමසන අවස්ථාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් බොහොමයක් පාර්ලිමේන්තුවේ රැඳී නොසිටියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ නොසැලකිල්ල නිසා බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයෝ පවසති.
මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඊයේ (05දා) ඉදිරිපත් කරන ලදී.
වාහන අලුත්වැඩියා හා රජයේ ගොඩනැගිලි, අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන කටයුතු සඳහා අදාළ රුපියල් මිලියන 55 ක මුදල යොදාගැනීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වුවද පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව පරිපූරක ඇස්තමේන්තුවක් පරාජයට පත් වුවහොත් පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතුවේ. වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ නොසැලකිලිමත් බව ප්‍රදර්ශනය වූ අවස්ථාවක් ලෙස මෙය සඳහන් වේ.