මාර්ග නීති උල්ලංඝනය කිරීමකදී අයකරන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා ඉහළ දැමීමට විරුද්ධව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය හෙට (15දා) දිනයේදී සිදුකරන වර්ජනයට සහයෝගය දැක්වීමට තවත් සංගම් කිහිපයක් ඉදිරිපත් ව සිටිති.
මේ අනුව අද (14දා) මධ්‍යම රාත්‍රී 12 ට ආරම්භවන බස්රථ වැඩවර්ජනයට තම සංගමය යටතේ ධාවනය වන බස්රථ සියල්ලම එකතුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.
මීට අමතරව දඩ මුදල් ඉහළ දැමීමට එරෙහිව බස්රථ සිදුකරන වැඩවර්ජනයට සාපේක්ෂව ලංකා ස්වයංරැකියා, නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයනුත් අද මධ්‍යම රාත්‍රී 12 සිට ධාවනයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගය දියත් කරන බව එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේය.
දඩ මුදල් ඉහළ දැමීම නිසා 20,000කට අධික කන්ටේනර් රථ රියදුරන්ද දැඩි අපහසුතාවයන්ට පත්වන බවත්, මේ නිසා ඉහළ දැමූ මුදල ඉවත්කරන ලෙසට තම සංගමය ඉල්ලා සිටින බවත් බහලුම ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.
මීට අමතරව ඉහළ දැමූ දඩ මුදල් පහළ දමන ලෙස ඉල්ලා හෙට (15දා) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සාකච්ඡාවක් පවත්වන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය සඳහන් කරයි.
එම සාකච්ඡාවෙන් පසු වර්ජනයක් සිදුකරනවාද නැද්ද යන්න තීන්දුවක් ගන්නා බවද එම සංගමයේ සභාපති ජයරුක් සුධීර මහතා සඳහන් කළේය.
දඩ මුදල් ඉහළ දැමීම නිසා දුර ගමන් සේවා බස්රථ රියදුරන්ද දැඩි අපහසුතාවයන්ට පත්වන බැවින් මීට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව බස් හිමියන් සමග අද (14දා) දිනය තුළ විශේෂ සාකච්ඡාවක් පවත්වන බව අන්තර් පළාත් බස්හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම සාකච්ඡාවලින් ගන්නා තීන්දු තීරණ පිළිබඳව හෙට (15දා) දිනයේදී ප්‍රකාශයට පත්කරන බවද එම සංගමයේ සභාපති විජිත කුමාරසිරි මහතා සඳහන් කළේය.
අද (14දා) මධ්‍යම රාත්‍රී 12.00 ආරම්භවන බස්රථ වර්ජනය, පළාත් ප්‍රවාහන අධිකාරීන් යටතේ ධාවනය වන බස් රථ 18,000 එකතුවන බව ලංකා පෞද්ගලික හිමියන්ගේ සංගමය හා සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.
අයවැයෙන් යෝජනා කළ යෝජනාව ඉවත්කර ගන්නාතුරු මෙම ක්‍රියාමාර්ගය දියත්කරන බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හා සමස්ත ලංකා බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත්, ලංකා ස්වයංරැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන යන මහත්වරුන් සඳහන් කළේය.
මේ අතර, මාර්ග නීති කඩ කරන්නනට එරෙහි රු.2,500/- අවම දඩය ඉවත් නොකරන බවත්, දඩ මුදල වැඩිකළේ රජයට ආදායම් මාර්ගයක් වශයෙන් නොව, රියදුරන් මාර්ග නීති කඩ කිරීම වළක්වාලීම සඳහා වන උපක්‍රමයක් ලෙස බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා තිබේ.