වෛරස් පිළිබඳ විද්‍යාඥයන් වාතය මගින් පැතිරෙන වෛරස්වලට එරෙහිව මුඛවාඩම්වල කාර්යක්ෂමතාව පිළිබඳව සැක පළ කරනු ලැබූවත්, මුඛවාඩම් පැලඳීම නිසා අත මගින් මුඛය වෙත වෛරස් සම්ප්‍රේෂණය වීම වළක්වා ගත හැකි බවට සාක්ෂි කිහිපයක් ඇති බව කියයි.
ඕනෑම වෛරස් වසංගත තත්ත්වයකදී බොහෝ විට දක්නට ලැබෙන්නේ, ශල්‍ය වෙස් මුහුණු පැළඳ සිටින පුද්ගලයන්ය.
වෛරස් ආසාදනය වීම වැළැක්වීම සඳහා ලොව පුරා බොහෝ රටවල් ඒවා භාවිත කරයි. විශේෂයෙන්ම චීනය පරිසර දූෂණයෙන් බේරී සිටීමට මෙන්ම, නව කොරෝනා වෛරසයෙන් බේරීමටද මුඛවාඩම් පැළඳ සිටිනු දැකිය හැකිවිය.
කෙසේ වෙතත්, වෛරස් පිළිබඳ විද්‍යාඥයින් වාතය මගින් පැතිරෙන වෛරස්වලට එරෙහිව මුඛවාඩම්වල කාර්යක්ෂමතාව පිළිබඳව සැක පළ කරති.
එහෙත්, මුඛවාඩම් මගින් අත මගින් මුඛය වෙත වෛරස් සම්ප්‍රේෂණය වීම වළක්වා ගත හැකි බවට සාක්ෂි කිහිපයක් තිබේ.
ශල්‍ය මුව ආවරණ පළමු වරට රෝහල් සඳහා හදුන්වා දෙන ලද්දේ, 18 වැනි ශත වර්ෂයේ අග භාගයේදීය. එහෙත්, 1919 වසරේදී ඇති වූ ස්පාඤ්ඤ උණ වසංගතයෙන් මිලියන 50කට අධික පිරිසක් මිය යන තුරු ඒවා මහජන භාවිතයට පැමිණියේ නැත.
මේ පිළිබඳ අදහස් දක්වන ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඩේවිඩ් කැරිංටන් පැවසුවේ, සාමාන්‍ය ශල්‍ය මුඛවාඩම් පැළඳීම වාතයේ සැරිසරන වෛරස් හෝ බැක්ටීරියාවලින් ආරක්ෂා වීමට ඵලදායී ක්‍රියාමාර්ගයක් නොවන බවය. එම මුඛවාඩම් ලිහිල් වීමත් (එමගින් ලිහිල් තැන්වලින් වෛරස්වලට ගමන් කළ හැක), වායු පෙරණයක් (air filter) නොතිබීමත්, ඇස් නිරාවරණය වී තිබීමත් නිසා බොහෝ වෛරස් ශරීරගත වීම සිදුවන බව ඔහු පවසයි.
කෙසේ වෙතත්, කිවිසුම් යාමෙන් හෝ කැස්සකින් වෛරසයක් වැළඳීමේ අවදානම අඩු කර ගැනීමටත්, වෛරස් දෙඅත් හරහා මුඛයට සම්ප්‍රේෂණය වීම යම් ප්‍රමාණයකින් අඩු කර ගැනීමටත් එමගින් හැකියාව පවතින බව ඔහු කියයි.
නිව් සවුත් වේල්ස්හි 2016දී සිදුකළ අධ්‍යයනයකින් අනාවරණය වූයේ, සාමාන්‍යයෙන් මිනිසෙකු පැයකට 23 වරක් සිය මුහුණ ස්පර්ශ කරන බවය.
නොටිංහැම් විශ්වවිද්‍යාලයේ අණුක වෛරස් විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජොනතන් බෝල් පැවසුවේ, රෝහලක් ආශ්‍රිතව සාර්ථකව සිදු කළ එක් අධ්‍යයනයකදී, මුහුණු ආවරණ මගින් කෘත්‍රිම වායු පෙරණ සහිත ශ්වසන යන්ත්‍රයකින් සිදුවන තරමට ම වෛරස් ආසාදනය වැළැක්වීමට සුදුසු බව තහවුරු වූ බවය.
වායු පෙරණයක් සහිත ශ්වසන යන්ත්‍ර විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ, අනතුරුදායක වායුගෝලීය අංශුවලින් ආරක්ෂා වීම සඳහා ය.
"කෙසේ වෙතත්, සාමාන්‍ය ජනතාව සම්බන්ධයෙන් මුඛවාඩම්වල ඵලදායීතාව දෙස බලද්දී, ඉහත කී අධ්‍යයනයෙන් ලැබුණු දත්ත ප්‍රබල බලපෑමක් කරන්නේ නැහැ. ඒ වගේම, දීර්ඝ කාලයක් තිස්සේ මුඛවාඩමක්ත භාවිත කිරීමත් තරමක් අභියෝගයක්" යැයි මහාචාර්ය බෝල් පැහැදිලි කළේය.
බෙල්ෆාස්ට්හි ක්වීන්ස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අත්හදාබැලීම් ආයතනයේ ආචාර්ය කොනර් බැම්ෆෝර්ඩ් පැවසුවේ, සරල සනීපාරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වඩාත් ඵලදායී බවය.
"කිවිසුම් යද්දී මුව වසා ගැනීම, නිතර අත් සේදීම, අත් නොසෝදා මුඛය ස්පර්ශ නොකිරීම ආදී සනීපාරක්ෂක ක්‍රියාමාර්ග මගින් ශ්වසන පද්ධතිය ආශ්රිත වෛරස් ආසාදනය වීමේ අවදානම සීමා කරගන්න පුළුවන්" යැයි ඔහු පැවසීය.
එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවාව (NHS) පවසන්නේ, වෛරස්වලින් ආරක්ෂා වීමට අනුගමනය කළ යුතු පියවර කිහිපයක් ඇති බවය.
එනම්, උණුසුම් ජලයෙන් සබන් යොදා නිරන්තරයෙන් දෑත් පිරිසුදු කර ගැනීම, ඇස් සහ නාසය ස්පර්ශ කිරීම හැකි පමණින් අවම කිරීම සහ නිසි සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් පවත්වාගෙන යාමය.
එංගලන්තයේ මහජන සෞඛ්‍ය සේවයේ වසංගත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ජේක් ඩනිං පැවසුවේ, මුහුණු ආවරණ පැළඳීම ආරක්ෂාකාරී බවට මතයක් පැවතුණ ද, ඇත්ත වශයෙන් ම ඒවා සායනවලින් පිටතදී භාවිත කිරීමෙන් පුළුල් ප්‍රතිලාභයක් ලැබිය හැකි බවට සාක්ෂි ඇත්තේ අල්ප වශයෙන් බවය.
ඔහු පැවසුවේ, මුඛවාඩම් නිසි ලෙස ක්‍රියාත්මක වීමට නම් ඒවා නිවැරදි ආකාරයට පැළදිය යුතු අතර, නිරන්තරයෙන් මාරු කළ යුතු බවය.
"දීර්ඝ කාලයක් තිස්සේ මුඛවාඩමක් පැළඳීමේදී කාලයත් සමග එහි ක්‍රියාකාරීත්වය අඩු වන බව පර්යේෂණවලින් පේනවා" යැයි ඔහු සදහන් කළේය.
වෛද්‍ය ඩනිං පැවසුවේ, යහපත් පෞද්ගලික සනීපාරක්ෂාවක් සහ දෑත්වල සනීපාරක්ෂාව කෙරෙහි අවධානය යොමු කිරීම වඩා යෝග්‍ය බවය.