බළන්ගොඩ සමනලවත්ත සහන් කුමාර ධර්මසේන දරුවා අතුරුදහන් වී වසරක් ගත්වී ඇතත් කිසිඳු තොරතුරක් ලැබී නොමැති බව බළන්ගොඩ පොලීසිය පැවසීය.
පසුගිය වසරේ ජූලි 20 දින මෙම දරුවා නිවසින් බැහැරව දර සෙවීමට යන අවස්ථාවේ දී දරුවා අතුරුදහන් වී ඇත.
ලබන විසිවන දිනට මෙම දරුවා අතුරුදහන් වී වසරකි. දරුවා අතුරුදහන් වු මුල් දින කීහිපය තුළදී පොලිසිය හා හමුදාව එක්ව ප්රදේශය පුරා දරුවා සෙවීමේ මෙහෙයුම් දියත් කළේය.
එහෙත් දරුවා පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය.
පසුව හමුදාව සෝදිසි මෙහෙයුම්වලින් ඉවත් වූ අතර බළන්ගොඩ පොලීසිය අඛණ්ඩ පරීක්ෂණ කටයුතු මේ වනවිටත් සිදු කරමින්පවතී.
දින කීපයක් දරුවාගේ ඥාතීන් ගෙන් ද ප්රශ්න කලත් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය. ළමයා ප්රදේශයේ දිවියෙකුගේ ගොදුරක් බවට පත් වුනාද එසේත් නොමැති නම් වෙනයම් අපරාධයක් සඳහා දරුවා පැහැරගෙන ගියාද යන්න පිළිබඳව බළන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මේ පිළිබඳව බුද්ධි අංශ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී එම නිලධාරියා කියා සිටියේ අදාළ වාර්තාව ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන්ට යවා ඇති බවයි.
දරුවා පිළිබඳව යම් කිසි තොරතුරක් දන්නේ නම් ළගම ඇති පොලිසියට හෝ පොලිසිය හදිසි ඇමතුම් අංක 119 දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.