ලෝක වෙලෙඳ පොළේ බොරතෙල් මිල සම්බන්ධයෙන් වර්තමානයේ පවතින්නේ දෛනික මිල උච්ඡාවචනයක් මිස නිත්‍ය තත්ත්වයක් නොවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ වැටුණ ද, එහි වාසිය මහජනතාවට රජය විසින් ලබා නොදෙන බව පවසමින් එක්තරා දේශපාලනඥයෙක් විසින් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රවාහන සේවා කළමණාකරණ විදුලි බල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ අවධානය යොමු වි තිබේ.
ඒ අනුව අද (29දා) මේ සම්බන්ධව අමාත්‍යවරයා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ කළමනාකාරිත්වයෙන් විමසීමක් කළ අතර ඒ අනුව එම සංස්ථාව ප්‍රකාශ කරන්නේ පසුගිය දෙසැම්බර් මාසයේ සිට ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල සම්බන්ධව පවතින්නේ දෛනික මිල උච්චාවඡනය වීමක් විනා නිත්‍ය මිල අවම විමක් නොවන බවයි.
නිදසුනක් ලෙස ගතහොත් පසුගිය 2019 දෙසැම්බර් මාසයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 69.25ක් වූ අතර, 2020 ජනවාරි මස 01 දින එය ඩොලර් 67 දක්වාත්, ජනවාරි 03 දින නැවත ඩොලර් 69 දක්වාත් ඉහළ ගිය බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එමෙන්ම ගල්ෆ් අර්බුදය හෙවත් ඉරානය හා ඇමරිකා එක්සත් ජනපදය අතර යුධ උණුසුමක් මතු වු ජනවාරි 06 දින ඉන්ධන බැරලයක මිල ඩොලර් 71 දක්වා ඉහළ ගියේය. ඉන්පසු ජනවාරි 07 දින නැවත ඩොලර් 70 දක්වාත්, ජනවාරි 08 දින නැවත ඩොලර් 71 දක්වාත් වශයෙන් ඉහළ ගියේය. අද දින එනම් ජනවාරි මස 29 දින ඉන්ධන බැරලයක මිල ඩොලර් 60.2ක් දක්වා අඩු වි තිබුණත්, හෙට දින ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කෙසේ පවතීදැයි උපකල්පනය කළ නොහැකි බවද එම සංස්ථාව සඳහන් කරයි.
එමනිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසන්නේ ඉහත දත්ත අනුව මෙම මිල අඩුවීම කිසිසේත්ම නිත්‍ය තත්ත්වයක් නොවන බවයි.