කොරෝනා දෙවැනි රැල්ලක් ඇති වුනොත් ඒකේ වගකීම රජය භාර ගත යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කටුගස්තොට බෞද්ධ බල මණ්ඩල ශාලාවේදී පැවැති ජාතික සමගි ජනබලවේගයේ රැස්විමක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා ,
මේ කොරෝනා ප්රශ්නය උද්ගත වන කොට ඔය නායකයින් කියන කොටසේ කවුද මේ අභියෝගය ගැන, කතා කළේ. එක නායකයෙක්වත් පාර්ලිමේන්තුව තුල හෝ එයින් පිටත කතා කළේ නෑ. මේ වගේ කොරොනා එකක් එනවා මේකෙන් ආරක්ෂා වෙන්න වෙන්න ඕන කියලා කතා කළ එකම මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාසයි. ජනවාරි 24 වනදා පෙබරවාරි පස් වනදාත් මම මේ ගැන කතා කළා.
දැන් අපට අහන්නට ලබෙනවා මේ කොරෝනා දෙවැනි රැල්ලක් එනවලු. ඡන්දයක් ප්‍රකාශයට පත් කරලා දිනත් නියම කරපු නිසා අපිත් මේ මැතිවරණ වැඩසටහනේ බැහැල ඉන්නවා. නමුත් මේ මැතිවරණ පවත්වන දිනය පිළිබඳව අපි අනතුරු ඇඟවීමක් කළා. නමුත් කතාවක් හදන්න පටන් ගත්තා මැතිවරණවලට අපි බයයි කියලා. මැතිවරණ බය නම් මෙච්චර රට වටේ යනවද? අපි ජනහමු දහසක් පවත්වනවා. අපි බය නෑ. නමුත් දැන් දැන් ආරංචි එනවා කොරෝනා දෙවැනි රැල්ලක එනවා කියලා. මේ දෙවැනි රැල්ල පටන් ගත්තොත් ඒකට අනිවාර්යෙන්ම වගකියන්න ඕන මේ රජයයි. අපි කිව්වා මේ වගේ තත්ත්වයක් තුල මැතිවරණ ප්රචාරක කටයුතු කරනවානම් දින ටිකක් ඉස්සරහට දාලා අපි බලමු මේ කොරෝනාවේ දෙවැනි තුන්වැනි රැල්ලක් එනවද කියලා.
ඊට පස්සේ අපි මැතිවරණය තියමු කිව්වා. නමුත් ආණ්ඩුව සවන් දුන්නේ නෑ. මැතිවරණ කොමිසමට එක එක බලකිරිම් කළා. මැතිවරණ කොමිසම පීඩනයට ලක් කළා. දැන් සමහර අය කියනවා දෙවැනි රැල්ල ආරම්භ වෙලාලු . කවුද මේ දෙවැනි රැල්ලට වගකියන්න ඕන. මේ ආණ්ඩුව මාස කිහිපයක්ම තියෙද්දී මැතිවණය පවත්වන්න පුදුම හදිස්සියක් තිබුණෙ. ඒ අයට අවශ්‍ය ජනතාව බලා ගන්න එක නෙවෙයි.ජනතාව රකින එක නෙවෙයි. ජනතාව ආරක්ෂා කරන එක නෙවෙයි. ඒගොල්ලන්ගේ සිහිනය තමයි තුනෙන් දෙකේ සිහිනය. ඒ ගොල්ලන්ගේ සිහිනය කුමක් වුනත් ලබන පස් වනදාට සමගි ජන බලවේගය දුරකථනයෙන් දිනන බවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.
මොහොමඩ් ආසික්