මොරටුමුල්ල කඩලාන ශාන්ත අන්තෝනි පාරේ ඇළ මාර්ගයක තිබී මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් ,රිවෝල්වරයක්,ජීව උණ්ඩ එකසිය පනහක් සමඟ තවත් ආයුධ තොගයක් සොයා ගත් බව මොරටුමුල්ල පොලීසිය පවසයි.
ශාන්ත අන්තෝනි පාරේ දේවස්ථානයේ දෛනික රාජකාරි සඳහා යොදවා තිබු පොලිස් කොස්තාපල්වරයෙකු දේවස්ථානයට යාබඳව ගලායන ඇළ මාර්ගයක ජීව උණ්ඩ තොගයක් තිබෙනු දැක එය පරික්ෂා කිරිමේදි රිවෝල්වර් සඳහා භාවිතා කරන උණ්ඩ 19මිලිමිටර් 9 උණ්ඩ 4 සහ කුඩා උණ්ඩ 4 ලෙස ජීව උණ්ඩ 27ක් තිබි හමුවීමත් සමඟ පසුව අවට වැඩිදුර පරික්ෂා කිරිමේදි මෙම ආයුධ තොගය අද (11) සොයාගත් බව පොලීසිය පවසයි.
ඒ අනුව මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් ,රිවෝල්වරයක් ,මැගසීනයක්,මිලිමිටර් 3.8 ජීව උණ්ඩ 100 , මිලිමිටර් 9 වර්ගයේ මැගසීනයක් අත්මාංචු යුගලයක් සොයා ගැනීමට හැකිවු බව පොලීසිය පවසයි.
මෙම භාණ්ඩ හමුවීමත් සමඟ ඊට කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර රටපුරා සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් කිසිවෙකු විසින් මෙම ආයුධ තොගය මෙසේ ගෙනවිත් දමන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
පසුව මෙම ආයුධ තිබි හමුවු ඇළ මාර්ගය අසල පිහිටි ලී මෝලක හිමිකරුවෙකුගෙන් ප්රකාශයක් සටහන් කරගත් බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන අතර මොරටුව අධිකරණයට කරුණු වාර්තා කිරිමට නියමිතය.
මත්තේගොඩ - ශාන්ත ප්රදීප් කුමාර