අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව පොලිස් නිලධාරීන්ට නීත්‍යනුකූලව හිමිවිය යුතු ඒකාබද්ධ දීමනාව වැඩිකර තිබියදීත් එම දීමනාව අඩුකිරීමට තීරණය කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් පොලිස් නිලධාරීහු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
වැඩිකළ ඒකාබද්ධ දීමනාව, අඩුකිරීමට ගත් තීරණය අහෝසිකර වැඩිකළ දීමනාව ඒ අයුරින්ම ගෙවීමට නියම කරන්නැයි ඉල්ලමින් අමිල මහේෂ් ලංකාතිලක මහතා ඇතුළු පොලිස් නිලධාරීහු හයදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කළහ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කොට ඇත.
තමන් විවිධ නිල මට්ටම් වලට අයත් පොලිස් නිලධාරීහු බව පවසමින් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇති පෙත්සම්කරුවෝ පොලිස් ආඥා පනතට අනුව පැය 24ක සේවා කාලයක් සේවයේ නියුක්ත වීමට තමන් බැඳී සිටින බවත් ආයතන සංග්‍රහයේ 4 වැනි පරිච්ජේදය අනුව තමන්ට රාජකාරී, ප්‍රවාහන දීමනා හා ඉඳුම් හිටුම් සඳහා ඒකාබද්ධ දීමනාවක් හිමිවිය යුතු බව සඳහන් කරති.
තමන්ට ගෙවනු ලැබු එම ඒකාබද්ධ දීමනාව 2018 අගෝස්තු 21 වැනිදා අංක 20/2018 දරණ චක්‍රලේඛය මඟින් සංශෝධනය කොට මූලික වැටුප රුපියල් 32,799ක් දක්වා හිමි අයට රුපියල් 700/-ක්ද, රුපියල් 32,780 සිට රුපියල් 43,479 දක්වා වැටුප් හිමි අයට රුපියල් 800/-ක්ද, රුපියල් 43,480 කට වඩා ඉහළ වැටුප් ලබන නිලධාරීන්ට රුපියල් 1000/-ක් වශයෙන් ලබාදීමට තීරණය කළ බව සඳහන් කරන පෙත්සම්කරුවෝ මෙම සංශෝධන දීමනා මෙතෙක් තමන්ට නොලැබුණු බවද පවසති.
මෙම සංශෝධන දීමනා මෙතෙක් තමන්ට නොලැබුණත් රාජ්‍ය බුද්ධි අංශයේ සහ ජනාධිපති ආරක්ෂක අංශයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට මෙම දීමනාව හිමි වන පෙන්වා දෙන ඔවුහු තත්ත්වය මෙසේ තිබියදී පසුගිය මැයි 10 වැනිදා පොලිස්පතිවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙම දීමනාව දින 14 ක කාලයකට පමණක් ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයිද පවසති.
තම්නට හිමිවිය යුතු දීමනාව එලෙස අඩුකිරීම නීතියට පටහැණි බවත් ඉන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් පවසන පෙත්සම්කරුවෝ මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නැයිද,තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන්නැයිද, ඉල්ලා සිටිති.
එමෙන්ම ඒකාබද්ධ දීමනාව අඩු කිරීමට ගෙන ඇති තීරණය අහෝසි කොට 2018 අගෝස්තු 24 වැනිදා සංශෝධනයට අනුව ඒකාබද්ධ දීමනාව ගෙවීමට නියම කරන්නැයිද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.