එක්සත් ජාතික පක්ෂයේ වැඩ කටයුතු ඉදිරියට ගෙන නොගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු පිරිසක් පක්ෂයෙන් ඉවත් කළ බව පැවසු එ.ජා.ප. නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවත් එවැනිම කණ්ඩායමකට එරෙහිව විනය පරික්ෂණ පැවැත් වෙන බවත්, එම පරික්ෂණ වලින් වැරදි කරුවන් බවට පත්වන සියලු දෙනා ඉවත්කර අලුත් මන්ත්‍රිවරු පත්කරන බවත් ජාඇල සහ යක්කල ප්‍රදේශ වල පැවති ජනහමු වලට එක්වෙමින් පැවසිය.
"අපි කැපුවත් කොළ යැයි සමගි ජන බලවේගයේ අය ප්‍රකාශ කළද කැපුවත් කොළ කිසිවෙක් එම බලවේගයේ නැති බව වික්‍රමසිංහ මහතා සදහන් කළේය.
මෙම ජනහමු වලින් පසු "පරපුර" තරුණ සංවිධානය විසින් යක්කල සංවිධානය කර තිබු තරුණ හමුවකට හා සංවාද වැඩ සටහනකටද වික්‍රමසිංහ මහතා සහභාගි වු අතර, අනතුරුව කොළඹ බාන්ස් පෙදෙසේ සහ බටහිර කොළඹ ස්ටැන්ලි ජෑන්ස් ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවලටද සහභාගි විය.
ජාඇල සහ යක්කල පැවති ජනහමු අමතා තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කිය.
“මේ මැතිවරණයේදි ආණ්ඩුවට අභියෝගයක් ලෙස රට හදන වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි. ආණ්ඩුවට තවමත් ඊට ප්‍රතිචාරයක් දක්වන්න නොහැකි වී තිබෙනවා.
පසුගිය ජනාධිපතිවරණයෙන් අපි පරාජයට පත්වුණ නිසා මේ මැතිවරණයත් පරාජයට පත්වන බව ඇතැම් අය කල්පනා කළා. නමුත් මේ මැතිවරණයට සෘජුවම මුහුණ දියයුතු යැයි මා තීරණය කළා. කොරොනා එයි කියා එදා කව්රුත් සිතුවේ නැහැ. කොරෝනා ප්රශ්නය මතුවන බව දැන සිටියා නම් පක්ෂය දාලා යන්නේ නැති බව අපෙන් ගිය කිහිපදෙනෙකු පසුගියදා මට ප්‍රකාශ කළා. පක්ෂය හැර ගියාට පසු ඒ ගැන කතා කරලා ඵලක් නැති බවත් ඒ අය පක්ෂයේ දැරුව තනතුරු වලට වෙනත් අය පත්කර තිබෙන බවත් ඔවුන්ට මා ඒ අවස්ථාවේදි දන්වා සිටියා.
වර්තමානයේ රට මුහුණපා ඇති අභියෝග වලට මුහුණදී ජයගත හැකි සැලසුම් තිබෙන්නේ අපේ පක්ෂයට පමණයි. මේ මැතිවරණයට මුහුණ දිමට සුදානම් වූ අවස්ථාවේ මට පක්ෂ අභ්‍යන්තරයෙන් මෙන්ම එළියේ මතුවූ ප්‍රශ්න වලටත් මුහුණ දීමට සිදුවුණා.
මේ වතාවෙත් බෙදි වෙන් වන්නේ නැතුව ඉදිරියට යන්න මා නොගත්ත උත්සාහයක් නැහැ. සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂක කම ඕන කිවා. එය ලබාදුන්නා. ඊට පසු විපක්ෂ නායක කම ඕන කිව්වා. එකත් ලබාදුන්නා. මේ වතාවේ අගමැති අපේක්ෂක කම අවශ්‍ය බව කිවා. ඒ අනුව එය ලබාදුන්නා.
නමුත් පසුව අපේ පක්ෂයෙන් කණ්ඩායමක් පිටව ගියා. පිටව ගිය ඒ කණ්ඩායම තමන් එක්සත් ජාතික පක්ෂයේ යැයි කියමින් අපට විරුද්ධව අධිකරණයේ නඩු පැවරුවා. ඒ අනුව ඔවුන් දිස්ත්‍රික් උසාවියෙනුත්, මහ අධිකරණයෙනුත් පරාජයට පත්වුණා
මම අධිකරණය හමුවට ගියේ නැහැ. සමගි ජන බලවේගයේ අයම තමයි අධිකරණයට ගියේ. ඒ අනුව ලබාදී තිබෙන තීන්දුව ඔවුන් පිළිගත යුතුයි. එසේ නොමැතිව තවදුරටත් බොරු කියා යෑමෙන් ඵළක් නැහැ. අපි නියම එක්සත් ජාතික පාක්ෂිකයින් යැයි ඔවුන්ට කියන්න බැහැ.
අද මේ රටේ ඡන්ද පදනමක් තිබෙන්නේ පොහොට්ටුවට සහ එක්සත් ජාතික පක්ෂයට පමණයි. අද සමගි ජන බලවේගයේ සිටින රාවුෆa හකීම් කැපුවත් කොළ කියන කෙනෙක්ද ? තිගම්බරම් කැපුවත් කොළ කියන කෙනෙක්ද? මනෝ ගනේෂන් කැපුවත් කොළ කියන කෙනෙක්ද? චම්පික රණවක තමන් යු.එන්.පි. නොවෙයි කියා තිබෙනවා. ඉතින් ඔහු කැපුවත් කොළ කියන කෙනෙක්ද? රිෂාර්ඩ් බදියුර්දින් කැපුවත් කොළ කියන කෙනෙක්ද? මේ අය කවුරුත් කැපුවත් කොළ කියන අය නොවෙයි.
එහෙමනම් නියම යු.එන්.පී. ය මේකද? අපි තමයි නියම යූ.එන්.පී. ය කියා සමගි ජන බලවේගය කියන්නේ කොහොමද. යු.එන්.පී. ය අතහැර දමා ගිය අයට නියම යු.එන්.පී. වෙන්න බැහැ.
අද සමගි ජන බලවේගය තුළ සිටින්නේ මහින්දගේ ආණ්ඩුවෙන් එදා මා ගලවා ගත්ත කෑලි කීපයක් පමණයි. ඒ අය අද මට කියනවා මම ඩීල් දානවලු. මම ඩිල් දැම්මේ නැහැ. නමුත් අපේ ඡන්ද වලින් පැමිණ ඩීල් දැමුවේ ඒ අය බව කිවයුතුයි.
එක්සත් ජාතික පක්ෂයේ සැම ක්‍රියාකාරිකයකුට හා මන්ත්‍රිවරයෙකුටම යුතුකමක් තිබෙනවා පක්ෂය වෙනුවෙන් වැඩ කිරීමට. එහෙම නොකරන අය සිටිනවා නම් ඒ අය සම්බන්ධව ක්‍රියා මාර්ග ගැනිමට අපට සිදුවෙනවා. පසුගිය කාලේ එලෙස වැඩ නොකළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු පිරිසක් පක්ෂයෙන් ඉවත් කළා. අනෙක් අයටත් විනය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඔවුන් වැරදිකරුවන් බවට පත් වුනොත් එය කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර ඔවුන්ද ඉවත් කිරිමට පියවර ගන්නවා. ඉන්පසු ප්‍රාදේශීය සභා නගර සභා වලට වෙනත් මන්ත්‍රිවරු නම් කළ හැකියි. තවදුරටත් පක්ෂයේ ඉන්නවාද නැද්ද කියා මේ අය තීරණය කළ යුතුයි.”