මහ රහතුන් වැඩ සිටි ඓතිහාසික රිදී විහාරය
( නඳුන් ශ්‍යාමාල් ) 2017-05-19 13:51:11
Comments - 0       Views - 1335

කුරුණෑගල වෑඋඩවිල්ල හත්පත්තුවේ මාදුරු කෝරළයේ රිදීගම නම් වූ සුන්දර ගම්මානයේ නිස්කලංක පරිසරයක පිහිටි ඓතිහාසික රිදී විහාරය අතීත හෙළ කලා සම්ප්‍රදාය මනාවට පිළිඹිබු කරන අද්විතීය කලාගාරයක් ලෙසද හැඳින්වූවාට අතිශයෝක්තියක් නැත. රිදී විහාරයේ ඉතිහාස කතාව අනුරාධපුර යුගයේ දුටුගැමුණු මහරජුගේ පාලන කාලය දක්වා දිවයන්නකි. රිදී විහාරයේ ආරම්භය පිළිබඳව ඇති අතීත කතාව මෙසේය. 

දුටුගැමුණු මහරජතුමාගේ පාලන සමයේදී අනුරාධපුර සිට මලය රට තෙක් දිවයන මාර්ගයක් රිදී විහාරය පිහිටි කැලෑබද භූමිය අසලින් වැටී තිබුණි. දිනක් මෙම මාර්ගයේ ගමන් කළ ගැල්වල භාණ්ඩ පටවා ගත් වෙළෙඳුන් කණ්ඩායමක් මඳක් විවේක ගැනීමේ අරමුණින් මෙම කැලෑබද භූමියේ නැවතී ඇත. ගැල් වල බැඳ සිටි ගොනුන්වද ලිහා දමා උන්ටද විවේක ගැනීම සඳහා ඉඩ සැලසූ අවස්ථාවේ ගොනුන් කිහිපදෙනක් වනයට වැදුණි. 

නැවත සිය ගමන ආරම්භ කිරීමට සූදානම් වූ වෙළෙඳුන් කණ්ඩායම කැලෑවට වැදුණු ගොනුන් සොයන්නට විය. ඒ අතරතුර ඔවුන්ට අසල තිබූ පැණිවරකා ගසක සරුවට ඉදී තිබූ පැණිවරකා ගෙඩියක් දක්නට ලැබුණි. වරකා ගෙඩිය ගසින් කඩාගත් ඔවුන් නැවතත් ගොනුන් සොයන අතරතුරදී අසල ගල්ලෙනක වැඩ සිටි ඉන්ද්‍රගුප්ත නම් රහතන් වහන්සේ නමක් මුණගැසුණි. වෙළෙඳ පිරිස ඒ අවස්ථාවේදී වරකා ගෙඩියෙන් කොටසක් මහත් ගෞරවයෙන් උන්වහන්සේට පූජා කළහ.

ඔවුන් නැවතත් පිටත්වීමට අවසර ඉල්ලූ අවස්ථාවේදී ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ 'මේ පාරෙන් යන්න' යැයි වෙළෙඳුන්ට මාර්ගයක් පෙන්වීය. එම මාර්ගය ඔස්සේ ගමන් කළ මෙම කණ්ඩායමට ගොනුන් හමු වූ අතර, එම ස්ථානයේ පිහිටි ගල් ලෙනක්ද හමුවිය. ගල්ලෙන වෙත ගිය වෙළෙඳුන් කණ්ඩායමට ඇස් අදහාගත නොහැකි විය. ඒ මන්දයත් එම ගල්ලෙන තුළ තිබී ඔවුන්ට විශාල රිදී ඉල්ලමක් හමු වීමයි. මෙම රිදී ඉල්ලම පිළිබඳව වෙළෙඳුන් පිරිස වහාම දුටුගැමුණු රජුව දැනුවත් කළ අතර, රජු මේ අසා මහත් සතුටට පත් වූයේ ඒ වන විට වස්තු හිඟය නිසා රුවන්වැලිසෑය ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව නවතා තිබීම නිසාවෙනි.

පසුව රජු ඇමතිවරුන් සහ පිරිවර එවා ලෙනෙහි වූ රිදී කැණීම් සිදුකොට රැගෙන ගොස් තිබේ. දුටුගැමුණු රජු ඊට කෘතගුණ දැක්වීම පිණිස එම ස්ථානයේ රිදී විහාරය කරවූ බව කියවේ. ඉන් නොනැවතුණු රජු රිදී විහාරයේ විහාර ගල මුදුනේ ලෝකඩ තම්මැට්ටමක් වාදනය කරවා එහි ශබ්දය ඇසෙන සීමාවේ පිහිටි සියලුම ඉඩම් රිදී විහාරය සතුකොට පූජාකර ඇත.

පුරාණ ජනප්‍රවාද අනුව රිදී විහාරයේ නිර්මාණ කටයුතු සඳහා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාද පැමිණි බව කියවේ. මීට අමතරව මහා විහාරයේ වීදුරු අල්මාරියක තැම්පත් කොට ඇති විශේෂිත හිටි බුද්ධ ප්‍රතිමාව පිළිබඳව ඇත්තේද අපූරු කතාන්දරයකි. එම කතාන්දරය රිදී විහාරයේ වැඩ වසන ඉඩම්පිටියේ ධම්මානන්ද හිමියන් විස්තර කළේ මේ අයුරිනි. 

''දුටුගැමුණු රජතුමා රිදී විහායේ ඉදිකිරීම් ඉවර කළාට පස්සේ නේත්‍ර මංගල්‍යය පවත්වන්න කියලා කල්පනා කරලා ඉන්දියාවෙන් මේ ලෝහ හිටි පිළිම වහන්සේ කරවලා අනුරාධපුරයට වඩම්වලා අනුරාධපුරේ ඉඳලා රිදී විහාරයට වඩම්වලා තියෙනවා. ඒ ගමන අතරතුරදී පිළිමය ගෙන ආපු රථය ගල් තලාවක් උඩදී එරුණලු ගන්න බැරුව.

ඒ වෙලාවේ රජතුමා බොහොම කණගාටුවට පත්වෙලා පිළිම වහන්සේ මෙතනින් ගෙනියන්න බැරි නම් මගේ ජීවිතේ නැති වුණත් නැගිටින්නේ නැහැ කියලා එතන බිම වැතිරිලා තියෙනවා. මේක දැකපු ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ කරපු අධිෂ්ඨානයකට අනුවයි මේ හිටි පිළිමය එක්වරම අහසට නැගිලා රජුගේ හිතේ තිබ්බ ආකාරයට මහා විහාරයේ දැන් පිළිම වහන්සේ තිබෙන තැනට වැඩලා තියෙන්නේ'' 

හින්දු ආභාසය ලැබූ වරකා වැළඳු විහාරය

ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ මෙම විහාරය පිහිටි ගල් ලෙනට වැඩම කර වෙළෙඳුන් පූජා කළ වරකා වැලඳු නිසාවෙන් මෙම විහාරය 'වරකා වැළඳූ විහාරය' නමින් ප්‍රසිද්ධව ඇත. මෙම විහාරය රිදී විහාර භූමියේ ඇති සුවිශේෂිතම ගොඩනැගිල්ලක් වන්නේ මෙය බෞද්ධ විහාරයකට වඩා හින්දු දේවාලයක ස්වරූපයක් දක්වන නිසාය. ඊට හේතුව ලෙස පොළොන්නරු යුගයේ සහ මහනුවර යුගයේ ආභාසය රිදී විහාරය කෙරෙහි බලපා තිබීම යැයි විශ්වාස කෙරේ.

වරකා වැළඳූ විහාරයට ඇතුළු වන තැන ඇති සඳකඩ පහණ කැටයම් වලින් තොරය. මෙහි දේවාලයක මෙන් බුදු පිළිමය තබා ඇති කුටියට ඇතුළු වීමට තිබෙන්නේ මණ්ඩපයක් ඔස්සේය. මණ්ඩපයේ වහලය දරා සිටීමට එක් පැත්තක කුලුනු හතර බැගින් කුලුනු අටක් දැකගත හැකිය. මෙම කුලුනු මල්, පලිහක් අතින්ගත් සොල්දාදුවන් සහ නාට්‍යාංගනාවන් ආදී විවිධ කැටයම් වලින් අලංකාර කොට තිබේ.

කුටිය තුළ වූ බුද්ධ ප්‍රතිමාව පිටුපසින් ඇති මකර තොරණ ඉතාමත් අලංකාරය. කුටිය පුරාම බිතුසිතුවම් කිහිපයක්ම දැකගත හැකි අතර, බොහෝ සිතුවම් කාලයේ ඇවෑමෙන් මැකී ගොස් තිබේ. බුදුරුවට දෙපසින් සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලාගේ රුව සිතුවම්කොට ඇත. වරකා වැළඳූ විහාරය අද වන විට ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බව රිදී විහාරයේ භාරකාර තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමියෝ අප සමග පැවසූ අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනට එය සංරක්ෂණය කිරීමටද පියවර ගෙන ඇතැයිද පැවසූහ. 

මහා විහාරය 

රිදී විහාරයේ ඇති ප්‍රධානතම විහාරගෙය වන්නේ රිදී හමුවූ ලෙනෙහි ඉදිකළ 'මහා විහාරය' හෙවත් 'පාත විහාරයයි.' මහා විහාරයට ඇතුළු වන දොරටුව ඉහළින් ඇති ගලෙහි යටි පැත්තේ සිතුවම් රාශියක් අදටත් දැකගත හැකිය. නමුත් ස්වාභාවික හේතූන් නිසාවෙන් ඒවායේ වර්ණ බොහෝසෙයින් මැකී ගොස් තිබෙනු දැකගත හැක. බුදුගෙයට ඇතුල්වන දොරටුව ඉහළින් පිහිටි මකර තොරණද රිදී විහාරය සතු තවත් එක් අද්විතීය නිර්මාණයකි. නමුත් කාලයේ ඇවෑමෙන් එහි වර්ණ බොහෝසෙයින් මැකී ගොස් තිබේ.

බුදුගෙයි තුළ බුද්ධ ප්‍රතිමා රාශියක් දක්නට ලැබේ. රියන් දහඅටක දිගින් යුතු යැයි සැලකෙන සැතපෙන බුදුපිළිම වහන්සේ උඩරට කලා සම්ප්‍රදායට නෙළා ඇත. එහි සිරසට ආසන්නයේ වීරාසන මුද්‍රාවෙන් වැඩ සිටින පිළිම වහන්සේ නමක් වන අතර, සැතපෙන පිළිම වහන්සේගේ පාමුල ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේගේ යැයි සැලකෙන පිළිරුවක් වේ. ඊට ආසන්නයේ විනාශයට පත්ව ඇති මෛත්‍රී බෝධිසත්වයන් හා දුටුගැමුණු රජුගේ යැයි සැලකෙන ප්‍රතිමා දෙකක් දක්නට ඇත.

දුටුගැමුණු රජතුමා ඉන්දියාවේ සිට ගෙන ආ රිදී විහාරයට අහසින් වැඩියා යැයි සැලකෙන ලෝහ ප්‍රතිමාවද මෙහි ආරක්ෂිතව තැම්පත්කොට තිබේ. මීට අමතරව බුදුගෙයි බිත්ති මත වහලයේ මල් වැල්, බුදුන්වහන්සේගේ විවිධ සිදුවීම් ආදී ඉපැරණි සිතුවම් රාශියක් දැකගන්නට ඇත. බුදුගෙයින් පිටවීමට ඇති දොරටුව ආසන්නයේ රිදී විහාරය සතුව තිබෙන තවත් සුවිශේෂී වූ නිර්මාණයක් දක්නට ලැබේ. ඒ දුර්ලභ පංචනාරි ගැටය නමින් හඳුන්වන කැටයම සහිත සම්පූර්ණයෙන්ම ඇත් දළින් නිමවූ උළුවස්සයි.

නාරි රූප පහකින් සෑදුණු පංචනාරි ගැටය ඈතට දිස්වන්නේ කළයක ආකාරයටයි. කිසියම් පිරිසක් විසින් මෙහි කොටස් ගලවාගෙන ගොස් ඇති නිසා කැටයම් වලින් ඉතිරිව ඇත්තෙ කිහිපයක් පමණි. සාමාන්‍යයෙන් බෞද්ධ විහාරස්ථානයකදී දක්නට නොලැබෙන්නක් මහා විහාරයේ දක්නට තිබේ. එනම් සැතපෙන පිළිම වහන්සේ ඉදිරියේ වන මල් අසුනේ ජේසුතුමන්ගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් දැක්වෙන සිතුවම් සහිත පිඟන් ගඩොල් අල්ලා තිබීමයි. නමුත් ඒවා යොදා ඇත්තේ පිළිවෙළකට නොවේ. මෙම පිඟන් ගඩොල් ලන්දේසි ආණ්ඩුකාරවරයෙකු විසින් රිදී විහාරයට පූජා කර ඇති බව කියවේ. 

උඩ විහාරය

උඩ විහාරය පිහිටා ඇත්තේ මහා විහාරයට ඉහළිනි. එහි යෑම සඳහා ගල් පඩිපෙළක් ඇත. එහි ඇත්තේ දොළොස් රියනක් උස ඉදි බුද්ධ ප්‍රතිමාව මෙන්ම එහි පිටුපසින් නිර්මාණය කොට ඇති මකර තොරණ ඉතා අද්විතීය නිර්මාණයක් වේ. එහි වර්ණ පවා තවමත් සුරක්ෂිතව පවතින අතර, උඩ විහාරයේ බිත්තිද නොයෙකුත් සිතුවම් රාශියකින් අලංකාර කොට ඇත. නමුත් මේ සිතුවම් අතර එකදු ජාතික කතාවක හෝ සිතුවමක් නොමැති වීම විශේෂත්වයකි. ඒ වෙනුවට බුදු සිරිතේ අවස්ථා නිරූපණය කොට ඇත.

තවද මෙම සිතුවම් අතර අපූරු සත්ත්ව රූප කිහිපයක්ද, සටනක නියැළෙන සෙබළුන් කිහිපදෙනෙක්ගේද දුර්ලභ ගණයේ සිතුවම් කිහිපයක් වේ. එම සිතුවම් ඉදිපිළිමයේ යටි තට්ටුවේ තිබෙන නිසාත්, මල් ආසනයෙන් ආවරණය වී ඇති නිසාත් ඒවා නැරඹිය යුත්තේ මල් අසුන යටට රිංගාය. උඩ විහාරයෙන් මළුව වෙත පිවිසීමට ඇති පඩිපෙළ දෙපස තබා ඇති කොරවක් ගල්ද අපූරු නිර්මාණයන්ය. එහි පසෙක ඇතෙකු ගසක් උදුරා දැමීමට උත්සාහ දරණ ආකාරයෙන්ද, එම ඇතාට පහරදීමට සැරසෙන දුනුවායෙක්ද කැටයම් කොට ඇති අතර, අනෙක් පස ඇතෙකුට සහ ගවයෙකුට මැදිව ඉඳගෙන සිටින තාපසයකුගේ රුවක් කැටයම් කොට තිබේ. 

උඩ විහාරයෙන් මළුවට පිවිසුණ විට වම් පැත්තෙන් හමුවන දාගැබ විශේෂිතය. මෙම දාගැබ ඉදිකර ඇත්තේ වේදිකාවක් මත වන අතර, එයට විහාරය පිහිටි ගල් ලෙනෙහි සෙවන ලැබේ. බැලූ බැල්මට එය පෙනෙන්නේ ගල් ලෙන ඇතුළෙහි පිහිටි දාගැබක් ලෙසටය. සැරසුම් ගල චෛත්‍ය නමින් හැඳින්වෙන රිදී විහාරයේ අනෙක් දාගැබ පිහිටා ඇත්තේ සැරසුම් ගල මුදුනෙහිය.

මෙම සැරසුම් ගල චෛත්‍ය වෙත යාමට අතීතයේ තිබූ පියගැටපෙළ තවමත් දක්නට ලැබේ. තවද එම ගලේ සෙල්ලිපි කිහිපයක්ද සංරක්ෂණය කොට තිබෙනු දැකගත හැක. අනුරාධපුර යුගයේදී රිදී විහාරයේ විසූ රහතන් වහන්සේලා විසූ ලෙන් ලිපි ඇතුළත් ගල් ලෙන් කිහිපයක්ද මෙම සැරසුම් ගලේදී හමු වේ. සැරසුම් ගල චෛත්‍යයට ආසන්නයෙන් පාදයක හැඩයකින් යුතු සහ සාමාන්‍ය හැඩයක් සහිත පොකුණු දෙකක්ද පිහිටා ඇත. මෙම සැරසුම් ගලේ සිට රිදී විහාර කන්ද අවටින් පිහිටි දොළුකන්ද, ඇටිපොල කන්ද, නෙල්ලිගල සහ ඒ අවට මනස්කාන්ත වටපිටාව ඉතා හොඳින් දැකගත හැක. 

රිදී විහාරය රකින කුමාර බණ්ඩාර දෙවියෝ

රිදීගම වෙසෙන ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වන කුමාර බණ්ඩාර දෙවියන් රිදී විහාරයේ ආරක්ෂකයා ලෙස සලකයි. මෙම දෙවියන් වෙනුවෙන් කැප කරන ලද දේවාල දෙකක් දක්නට ලැබේ. ඉන් එකක් පිහිටා ඇත්තේ උඩ විහාරයේ වන අතර, අනෙක් දේවාලය රිදී විහාර කන්ද පාමුල පිහිටා ඇත.

'සිංහල දේව පුරාණය' කෘතියට අනුව පත්තිනි මෑණියන් පඬිපුර ගිනි තබා විනාශ කරන ලද අවස්ථාවේ පඬි දේශයේ සිටි කුමාරයෙකු ආරක්ෂා කරගෙන සිංහල දේශයට ගෙනැවිත් රිදීගම පදිංචිකරවා ඇත. පත්තිනි මෑණියන් මෙම කුමාරයාට කුමාර බණ්ඩාර යන නම් තබා මදුරා පුරයෙන් රිදීගම වෙත ගෙන ආ රන් පිළිමයක් ආරක්ෂා කිරීමේ වගකීම පවරා ඇත. මේ නිසා කුමාර බණ්ඩාර දෙවියන් පත්තිනි කතාවට සම්බන්ධ බව කියවේ. 

සැබැවින්ම ඓතිහාසික රිදී විහාර උරුමයේ ඇති අද්විතීය නිර්මාණයන් බොහෝය. වර්තමානයේ රිදී විහාරයේ භාරකාර ධුරය දරන තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත නායක හිමිපාණන් මේ උරුමය මතු පරපුර වෙනුවෙන් රැක ගැනීමට ඉටුකරන්නේ ඉතා ප්‍රශංසනීය මෙ‍හෙවරකි. එම මෙහෙවරට අමතරව ගම්වැසියන් සමග එක්ව අද වන විට රිදී විහාරය සිදුකරන සමාජ සත්කාරයන්ද බොහෝය. 

20170401_111218 20170401_111641 20170412_162807 20170412_163502 20170412_163608 20170412_163658 20170412_163710 20170412_164356 20170412_174255 20170412_174313

මහ රහතුන් වැඩ සිටි ඓතිහාසික රිදී විහාරය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :