කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිබඳ අප මහා ඉහළින් කතා කළද පුරුෂාධිපත්‍ය රජ කරවන ඇතැම් රටවල තවමත් ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට අපොහොසත් වී ඇති බවනම් නොරහසකි. එවන් වූ ලෝකයක විටෙක මවක් වන ඇය තවත් විටෙක ලෝකයක් දිනූ ක්‍රීඩිකාවකි.
දකුණු ඉන්දියාවේ දිළිඳු ගමක ඉපදුණු ඇය නමින් නීටු ලෝන්ජස්ය. කාන්තාවක් ලෙසින් පමණක් නොව මිනිසත්කම හා ක්‍රීඩාව තුළින්ද ජීවිතයේ සැබෑ යථාර්ථය කියා පෑ තරුණියක ලෙස ඇය හඳුන්වාදිය හැකිය. මේ වනවිට ඇගේ වයස වසර 21කි.
වයස අවුරුදු 12ක් වැනි කුඩා අවධියේදී ඇගේ දෙමාපියන් විසින් වයස අවුරුදු 40ක පමණ වයස්ගත පුද්ගලයෙකුට ඇයව විවාහකරදී තිබේ. නමුත් ඉන් මාස කිහිපයක් ඉක්මවීමටත් ප්‍රථම ඇයගේ ස්වාමි පුරුෂයා මියගියේය. දෛවය කෙතරම් සරදම් කළද ඇය දැන් අවුරුදු 14ක පමණ පිරිමි දරුවන් දෙදෙනෙකු සිටින මවකි.
ආර්ථික මට්ටමෙන්ද ඉතාම පහළ මට්ටමක සිටින ඔවුන් මේ වනවිටත් ජීවත් වන්නේ සකස් කරගත් කුඩා කාමරයක් තුළය. මෙවන් ජීවිතයක් ගත කරමින් සිටි ඇය මුලින්ම ක්‍රීඩාවට ප්‍රවිෂ්ට වන්නේ සිය පුතුන් දෙදෙනා බිහිකළ පසුවය. ඒ ඇගේ ජීවිතයේ මෙතෙක් කල් ගමන් කළ මාර්ගය නිවැරදි දිශාවට යොමු කළා වූ හැරවුම් ලක්ෂය විය. දැන් ඇයගේ මුළු ජීවිතයම සිය පුතුන් දෙදෙනා හා රෙස්ලින් ක්‍රීඩාවය.
ඇයට තම ජීවිතය පටන්ගත්දා සිටම තිබූ බාධක, අභියෝගයන් ක්‍රීඩා දිවිය ආරම්භයේදීත් එලෙසින්ම පැවතුණි. ඇය වෙසෙන ගමේ බොහෝ දෙනා ඇයට පැවසුවේ රෙස්ලින් ක්‍රීඩාවට නොයන ලෙසයි. මෙවන් පහත් ආර්ථික මට්ටමක සිටින කාන්තාවක් එවැනි ක්‍රීඩාවකට යොමු වීම සිහිනයක් පමණක් වන බව ඔවුන් එකහෙළා අවධාරණය කළ කාරණාවක් විය.
නමුත් ඇයගේ දරා ගැනීම ඇයට මේ සඳහා යොමු වීමට ඇති එකම සුදුසුකම කරගෙන, ඇය පුහුණු වීම් කටයුතු ආරම්භ කළාය. නමුත් වෙනත් ක්‍රීඩිකාවන්ට මෙන් පෝෂ්‍යදායී ආහාර වේලක්, ශක්තිජනක පානයන් ඇයට හිමි වූයේ නැත. සියල්ලේ අහිමි වීම මත ඇයට හිමි වූයේ සිය සිතේ උපන් උත්සාහය පමණි. ඇය පුහුණුවීම් කළේ ඇතැම් අවස්ථාවල අධික බඩගින්න දරාගනිමින්ය. නමුත් කිසිලෙසකින් හෝ ඇය සිය පුහුණු වීම් අත් නොහැරියේය. ඇයගේම වදනින් එය විෙදස් මාධ්‍ය හමුෙව් පැවසුවේ මෙලෙසිනි.
"වෙන අය පුහුණුවීම් කරද්දී පලතුරු යුෂ පානය කර, චීස් වගේ පෝෂ්‍යදායී දේවල් කෑවත් මට ඒ මොකුත්ම ලැබුනේ නැහැ. මම හැමතිස්සේම වතුර බිව්වා. නමුත් මම මේ කිසිම දෙයකින් මගේ ආත්ම විශ්වාසය නැතිකර ගත්තේ නැහැ. මම ඒ හැමදෙයක් තුළින්ම අද වෙනකොට උසස් මානසික මට්ටමක සිටිනවා".
ඇයගේ දෙමාපියන්ටවත්, ගම්වැසියන්ටවත් මෙවැනි ක්‍රීඩා පිළිබඳ අවබෝධයක් නොමැති නිසාත්, ගම අසල පිහිටි නගරයේ පුහුණු කරන ස්ථානය පිරිමි ක්‍රීඩකයන්ට පමණක් වීම නිසාත් ඇයට පුහුණු වීමට පවා නිශ්චිත ස්ථානයක් නොතිබිණි. ඇය අලුයම 03ට අවදි වී අනෙක් පුද්ගලයන් අවදිවන්නට ප්‍රථම පුහුණුවීම් ආරම්භ කළේ එබැවිනි.
ඇගේ ප්‍රථම ජයග්‍රහණයත් සමග ක්‍රීඩාවට ප්‍රවිෂ්ට වනවිට ගම්මුන් කියූ සියලු වදන් හා ඔවුන්ගේ වැරදි ආකල්ප සියල්ල ඇයට වෙනස් කිරීමට හැකිවිය. ඇය 2011 වර්ෂයේ මෙම ක්‍රීඩාවට ප්‍රවිෂ්ටවී 2014 වර්ෂයේදී ඉන්දියාවේ ජාතික ක්‍රීඩා උලෙළේ ජයග්‍රාහී පදක්කම මුල් වරට තම දුප්පත් ගමට ගෙන ආවේ කාන්තාවන්ගේ ශක්තිය මෙන්ම ඇයගේ නොපසුබට උත්සාහයේ සංකේතයක් ලෙසිනි. 2015 වර්ෂයේද ඇය ජාතික මට්ටමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය. ඇත්තෙන්ම ඇයගේ ගමේ අය පවා මෙය ඉහළින්ම සැමරුවේ මෙවන් ඉතා කුඩා ආර්ථික හැකියාවක් ඇති, පිළිසරණක් නැති ජනතාවට ලැබුණු ඔටුන්නක් විලසිනි. ඇය සිය ගමේ ගම්වැසියන්ගේ ගැහැනු දරුවනගේ අනාගත පරමාදර්ශී චරිතය වූවාය.
වර්තමානයේ ඉන්දියාවේ ළමා විවාහ තහනම් කර තිබුණද තවමත් එහි ඇතැම් ප්රාන්තයන් තුළ රහසිගතව හෝ එවැනි ක්‍රියා නිරන්තරයෙන් සිදුවේ. යුනෙස්කෝ වාර්තාවලට අනුව ඉන්දියාවේ කාන්තාවන්ගෙන් 47%ක් වයස අවුරුදු 18 ප්‍රථම විවාහ වන බවට වාර්තා වේ. මෙවන් තත්ත්වයක් තුළ ඉන්දීය කාන්තාවන්ගෙන් ඒ සියලු බාධක මැද නැගී සිටින්නේ අතළොස්සකි. දියණියක මවක ලෙස ඒ සියල්ල දරාගෙන ක්‍රීඩිකාවක් ලෙස ඇය රටට කළ සේවයට අප හිස නමා අචාර කළ යුතුය. ඇයගේ මීළඟ ඉලක්කය නම් ක්‍රීඩිකාවට තිබෙන ඉහළම සිහිනය වන ඔලිම්පික් පදක්කම් ලාභිනියක වීමයි. ඉන්දියාවට පමණක් නොව ඇය සමස්ත ලෝකයේ කාන්තා පරපුරටම පරමාදර්ශී චරිතයකි.