විලාසිතා නිර්මාණකරණය ගත් විට එය සමාජීය, සංස්කෘතික, පාරිසරික බලපෑම් යටතේ නිර්මාණය වන ව්‍යවහාරික කලාවක් ලෙස හැඳින්විය හැකිය. එසේ බිහිවන මේ කලාවට නිර්මාණකරුවන් විසින් එකතු කරන දෑ හරි අපූරුය. එෂාදි යද්දෙහිආරච්චි කියන්නෙත් එලෙස මෙම කලාවට අපූර්වත්වයක් ගෙන ඒමට උත්සහයක යෙදෙන තරුණියකි. ඇය සොබාදහම ඇසුරු කරගෙන ඇඳුම් නිර්මාණයන්ට නවතම ජීවයක් ගෙන ඒමේ උත්සහයක නියැළෙන්නියකි. ඒ නිසාම එම උත්සහයට වටිනාකමක් ලබා දීමට අද අප තීරණය කළෙමු.
විලාසිතා නිර්මාණය කියන්නෙත් එක්තරා සුවිශේෂී කලාවක්. ඔබ මේ කලාවට පිවිසුණ ආකාරය ගැන කතා කළොත්?
විලාසිතා නිර්මාණකරණයට පොඩි කාලේ පටන් මට කැමැත්තක් තිබුණා. නමුත් ඒ සම්බන්ධව ඉගෙන ගන්න පාසල් අධ්‍යාපනය තුළ අපිට අවස්ථාවක් තිබුණේ නැහැ. මට විලාසිතාකරණය සම්බන්ධව ඉගෙන ගන්න අවස්ථාව ලැබුණෙ මොරටුව විශ්වවිද්‍යාලය හරහා. මම කුඩා කාලයේ පටන් චිත්‍ර කලාව හැදෑරුවා. මගේ මුල්ම ගුරුවරයා මගේ තාත්තා. එනිසා චිත්‍ර කලාව මගේ ඇගේම තිබුණා. ඒ කලාව තවදුරටත් වර්ධනය කරගන්න මට අවස්ථාව ලැබුණේ විශ්වවිද්‍යාලයේ මේ පාඨමාලාව හරහායි.
අපට විශ්වවිද්‍යාලයේ තෝරගන්න පැති තුනක් තිබුණා. ඒ product designing,^ %fashion designing, media telecommunication designing. මම එතැනදී විලාසිතා නිර්මාණකරණය තෝර ගත්තා. මට ඒ හැකියාව ඇඟේම තිබුණා සහ කරගෙන යද්දි මට තේරුණා මම මගේම අනන්‍යතාවක් මත හිඳගෙන ඒ නිර්මාණ සිදු කරනවා කියලා. මම හැමවිටම ලකුණු ගැන නොසිතා උත්සාහ කළේ මම කැමති සහ මගේ හිතට දැනෙන නිර්මාණයක් කරන්න. එහිදී මම සෑම විටම උත්සාහ කළා ආචාර්යවරුන්ගේ මගපෙන්වීම යටතේ මගේ අනන්‍යතාව මතුකර ගැනීමට.
ඔබ ඔබටම සුවිශේෂී වූ ඒ අනන්‍යතාව ගොඩ නගා ගත්තේ කෙසේද?
මගේ අනන්‍යතාව හැමවිටම ගොඩ නැගෙන්නේ මම සෞන්දර්යට (චිත්‍ර කලාවට) ගොඩක් සමීපව වැඩ කරන එක මතයි. ඒ වගේම මගේ පෙරපාසල් ගුරුවරයාගේ සිට අද දක්වා හිටපු සෑම ගුරුවරයෙක්ම මගේ ඒ කලාව හඳුනගෙන මගේ ඒ කලාව මත සිටයි මට අධ්‍යාපනය ලබා දුන්නේ. කිසිම කෙනෙක් මට ඒ දේට බලපෑම් කළේ නැහැ. ඒ නිසා මම හැම වෙලේම මගේ නිර්මාණවලට චිත්‍ර කලාව එකතු කළා. මම නිතරම මගේ නිදහස් කාලයේ චිත්‍ර අඳිනවා. ඒ නිසාම මට වර්ණ සම්බන්ධව යම් කියවීමක් තිබෙනවා.
මට නිර්මාණයක් කරන්න කලින් ඒ වර්ණ සංයෝජනයන් මවා ගන්න හැකියාවක් තිබෙනවා. මම හිතන්නෙ ඒ දේවල් ලැබුණෙ මම චිත්‍ර කලාවෙන්ම ලැබූ පුහුණුවත් සමග. ඒ වගේම වර්ණ සංකලනය කරන්න හොඳ හැකියාවක් ලැබුණේද මම චිත්‍ර කලාවෙහි නිතරම නියැළෙන නිසා කියා මට හිතෙනවා. ඒ දේවල් උපකාරී වුණා මගේම අනන්‍යතාවක් ගොඩනගා ගැනීමට.
ඔබ විවිධ වූ විලාසිතාවන් නිර්මාණය කරනවා. එහිදී ඔබ සාවොරි යන ගෙත්තම් ක්‍රමය උපයෝගී කරගෙන සිදුකළ විලාසිතා නිර්මාණය සුවිශේෂී වෙනවා. ඒ සාවොරි ගෙත්තම් ක්‍රමය ගැන කතා කළොත්?
මම මේ විලාසිතා නිර්මාණය සිදුකළේ විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේදී. එතැනදී අපට පැවරුණේ ගෙත්තම් ක්‍රම උපයෝගී කරගෙන ඇඳුම් නිර්මාණය කරන්න. එහිදී අපට සිදුවුණා %සාවොරි^ කියන ක්‍රමය උපයෝගී කරගෙන ඇඳුමක් නිර්මාණය කරන්න. ඒ ක්‍රමය ජපානය විසින් හඳුන්වාදුන් ගෙත්තම් කිරීමේ ක්‍රමයක්. ජපානයේ එක් කාන්තාවක් නොසිතා කළ එක් ගෙත්තමක් ඔස්සේ තමයි මේ ගෙත්තම් ක්‍රමය නිර්මාණය වූයේ. අද වනවිට එය කලාත්මක ඇඟලුම් ක්‍රමයක් බවට පත්වී තිබෙනවා.
ඒ සාවොරි විලාසිතා නිර්මාණයේදී ඔබ තේමාව කර ගත්තේ කුමක්ද?
මම මෙම නිර්මාණයේදී තේමාව කර ගත්තේ සොබාදහමේ ගල් මත ඇති දිය පාසි. ඒ සාවොරි නිර්මාණයේ ඒ උඩට මතු වූ නූල් මට පෙණුනේ ගල් මත ඇති දිය පාසි වගේ. මම ඒ අදහස එන අයුරින් ඇඳුම් නිර්මාණය කළා. මම හැමවිටම නිර්මාණයක් කිරීමට පෙර ක්ෂේත්‍ර අධ්‍යනයක් සිදු කරනවා. මම සෑමවිටම උත්සහ කරන්නේ සොබාදහමේ ඇති ඒ ස්වභාවික වර්ණ සංකලන මගේ නිර්මාණ තුළට ගෙන එන්න. එහිදී මට සියයට සියයක් ඒ වර්ණම ගන්න නොහැකි වුණත් සියයට අසූවක්වත් ඒ වර්ණ සකසා ගන්න මම උත්සහ කරනවා. ඒ ඔස්සේ මට පුළුවන් වෙනවා ස්වභාවික පෙනුම මගේ නිර්මාණ තුළට ගෙන එන්න. සාවොරි නිර්මාණයේදීත් මම වර්ණ ලෙස යොදා ගත්තේ කොළ පාටෙහිම වර්ණ කිහිපයක්.
ඔබේ නිර්මාණ දෙස අවධානය යොමු කළාම දක්නට ලැබුණ සුවිශේෂී ලක්ෂණය තමයි ඒ නිර්මාණ පරිසර හිතකාමී වීම. ඒ ගැන කතා කළොත්?
මම සොබා දහම මගේ නිර්මාණවලට ගෙන එන්න කැමතියි. මන්ද අපි සොබාදහම අදේශ කරගන්න තරමටම අපිත් සොබාදහමට සමීප වෙනවා වැඩියි. අපි එයට ආදරය කරනවා වැඩියි. ඒ තුළින් අපි අපටම වගවෙනවා සොබාදහම ආරක්ෂා කරන්න. එතැනදී තමයි මම තිරසාර ( sustainable) කියන සංකල්පයට ගියේ. මම මේ දවස්වල සිදු කරන නිර්මාණ ඒ සංකල්පය මත රැඳිලා තමයි සිදු කරන්නේ.
තිරසාර සංකල්පය මත සිට ඔබ කළ ඒ විලාසිතා නිර්මාණ ගැන කතා කළොත්?
මම එම නිර්මාණ සිදු කරන්නෙ විශ්වවිද්‍යාලයේ අවසන් පරීක්ෂණය සඳහා. මේ වසරේ දෙසැම්බර් මාසය වෙද්දී මම ඒ නිර්මාණ ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. මම එහිදී කරන්නේ මල් සහ ගස්වල ඩයි එක උපයෝගී කරගෙන කොෙහාමද නිර්මාණ සිදු කරන්නෙ කියන එකයි. මම ඒ විලාසිතා නිර්මාණ එකතුව සොබාදහමට කැමති අයව අරමුණු කරගෙන කරන ව්‍යාපෘතියක්.
ඒ වගේම මම ඒ සංකල්පය මත සිට තව විලාසිතා නිර්මාණ කිහිපයක් කළා මල්වල වර්ණ සහ තේ කොළ උපයෝගී කරගෙන. එතැනදී මම කළේ ස්වභාවික මල්වල තිබෙන වර්ණ උපයෝගී කරගෙන ඇමිලියෝරා
(Ameliora Collection) විලාසිතා එකතුව නිර්මාණය කිරීමයි. ඒ නිර්මාණය සිදු කළේ %යෝග වාස්තු විෂය^ නම් තේමාව මත හිඳගෙන. මම මගේ පෞද්ගලික ජීවිතයේදී යෝග ශාස්ත්‍රය සඳහා ගොඩක් කැමති කෙනෙක්. යෝග කියන්නෙත් පරිසරයට සම්බන්ධව විශ්ව ශක්තිය උපයෝගී කරගෙන සිදු කරන දෙයක්. ඒ නිසා මම මෙතනදී උත්සහ කළේ අපි යෝගවලින් ගන්න සංයමය මේ විලාසිතා නිර්මාණය හරහා ගෙන එන්නේ කොෙහාමද කියන කාරණය මේ හරහා ගෙන එන්නයි. උදාහරණයක් විදිහට කිවහොත් අපි අතක් උස්සනවා නම් මේ ඇඳුම හරහා අපිව සීමා කරනවා අපි ඒ අත උස්සන ප්‍රමාණය. මගේ ඒ නිර්මාණ එකතුවේ අපි අත් පාවලින් කරන චලනයන් ඒ ඇඳුම් ඔස්සේ සීමා කරනවා. ඒ ඔස්සේ යෝගවල මෙන් මෙම විලාසිතා ඔස්සේ සංයමයක් ගෙන එන්න මම උත්සාහකළා.
ස්වභාවික මල්වල සහ ගස්වල වර්ණ උපයෝගී කරගෙන විලාසිතා නිර්මාණ සිදු කරන්න සිතුවේ ඇයි?
ඇත්තටම එතැනත් තිරසාර සංකල්පය තිබෙන්නේ. එතැනදී මම භාවිතා කළේ ඉවතලන ස්වභාවික මල්. මට නුවරඑළියේ මල් ව්‍යාපාරයක් තිබෙනවා. මම එහි ඉවතලන මල්වලට මොනවාද කරන්නෙ කියලා හිතමින් ඉන්න අතරතුරේ තමයි මේ වගේ නිර්මාණ සිදු කරන්න පුළුවන්ද කියා උත්සාහ කර බැලුවේ. ඒ වගේම මේ මල් ව්‍යාපාර සිදු කරන අය දවසකට මල් සෑහෙන ප්‍රමාණයක් ඉවත දමනවා. ඒ ඉවතලන මල්වල ඩයි එක තමයි රෙදිවලට උපයෝගී කර ගෙන මේ නිර්මාණ එකතුව සිදු කළේ.
මේ මල්වල සහ ගස්වල වර්ණ යොදා ගැනීම සාර්ථක ක්රමයක්ද? සේදීමේදී වර්ණය වෙනස් වීමක් සිදුවන්නේ නැද්ද?
ස්වභාවික වර්ණ සියයට සියක් නොයනවා කියන්න බැහැ. කාලයත් එක්ක වෙනස් වීමට ලක් වෙනවා. ඒ නිසා එම වර්ණ කල්තබා ගැනීමට විවිධ වූ ප්රතිකාරක තිබෙනවා. ඒවායින් පරිසර හිතකාමී ප්‍රතිකාරකයන් පිළිබඳ මම මේ දිනවල පරීක්ෂණ සිදු කරනවා. එහිදී මම සේදුම්වාර විස්සකට වැඩි ප්‍රමාණයක් සිදුකර බැලුවා. සේදුම්වාර විස්සක් තිහක් යද්දී සාමාන්‍යයෙන් ඕනම ඇඳුමක වර්ණ වෙනස් වීමක් ඇතිවෙනවා. නමුත් සමහර මල්වල තිබෙන තද කහට ගතිය සදහටම නොයන ඒවාත් තිබෙනවා. මල් වර්ගයෙන් වර්ගයට එය වෙනස් වෙනවා. මම හිතන්නෙ ඒ වර්ණ වෙනස් වීමෙන් පසුවත් ඒ ඇඳුම අඳින්න පුළුවන් තත්ත්වයට අපේ මනස වර්ධනය වී තිබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි සොබාදහමට දෙයක් කරනවා කියන කාරණය අපේ මනස තුළ ගොඩ නැගෙනවා. සින්තටික් ඩයි ගත්තම අද වෙද්දී සතුන් කී දෙනෙක් එයින් මැරෙනවාද? ඒ වගේම ඒ ඩයි ජලාශවලට එකතු වෙනවා. අද වෙද්දි එය පාරිසරික ගැටලුවක් බවට පත් වී තිබෙනවා. මන්ද විලාසිතා නිර්මාණ ක්ෂේත්රය කියන්නේ ලෝකයේ දෙවැනි තැනට වැඩිම පාරිසරික හානියක් සිදු කරන නිෂ්පාදන ක්ෂේත්රය කියන්න පුළුවන්. එතැනදී රෙදි සහ ඩයි කියන දේ ප්‍රධාන තැනක් ගන්නවා. ඒ නිසා මම බැලුවේ ඒ සිදුවෙන හානිය වළක්වන්න. ස්වභාවික වර්ණ උපයෝගී කරගෙන වර්ණය වෙනස් වුණ ඇඳුම් ඇඳීම වෙනම විලාසිතාවක් බවට පත් කරන්න පුළුවන් නම් අපිට පුළුවන් සොබාදහම ආරක්ෂා කරන්න සහයෝගයක් දෙන්න.
විලාසිතා නිර්මාණකරණයේදී සන්නාමය (Brand) කියන දේ ඉතාම වැදගත්. මන්ද අනන්‍යතාව ගොඩනැගෙන එක් සාධකයක් තමයි සන්නාමය (Brand) කියන්නේ. ඒ නිසා ඔබේ සන්නාමය ගැන කතා කළොත්?
මම සන්නාමයක් විදියට යොදා ගත්තේ %යාද්රා^ (YADRA). මේ සන්නාමය (Brand) මම ඉදිරිපත් කළේ විශ්වවිද්‍යාලය හරහා. අපිට විශ්වවිද්‍යාලයේ තිබුණා සන්නාම නිර්මාණය සම්බන්ධ ව්‍යාපෘතියක්. අපි එහිදී ඉගෙන ගත්තා කොහොමද සන්නාමයක් මිනිසුන් අතරට ගෙන යන්නේ කියා. මම එහිදී යද්දෙහිආරච්චි කියන මගෙ නමේ මුල් අකුරු තුන අරගෙන සංස්කෘත වචනයක %රා^ (RA) කියන අකුරු අරගෙන තමයි මෙය නිර්මාණය කළේ. සංස්කෘත භාෂාවෙන් එයට එන්නේ %යහ^ කියන අර්ථයක්. එතනදී මගේ සන්නාමයේ දර්ශනයක් විදිහටම තිබෙනවා මනුෂ්‍යයෙක් පරිසරයට බරක් නොවී ජීවත් වීම වගේම පරිසරය ආරක්ෂා කරන්නෙක් ලෙස ජීවත් වීම යන සංකල්පය. ඒ වගේම මම මගේ විලාසිතා නිර්මාණ ලබා දෙන්නේ විශාල පාරිභෝගික පිරිසකට නෙමේ. යම් සීමිත පාරිභෝගික පිරිසකට. ඒ විලාසිතාවට වටිනාකමක් දෙන වෙනම පාරිභෝගිකයෝ පිරිසක් සිටිනවා. ඒ පිරිස තමයි මම ඉලක්ක කරගන්නේ. විශේෂයෙන් හැන්ඩ්ලූම්වලට ආස කරන, ස්වභාවික වර්ණවලට ආස කරන, සොබාදහමට ආදරය කරන ඒ සම්බන්ධ වෙනම කියවීමක් තිබෙන පාරිභෝගික පිරිසක් තමා මම ඉලක්ක කර ගෙන තිබෙන්නේ.
ඔබ මේ වනවිට විලාසිතා දැක්මවල් සඳහා ඔබේ නිර්මාණ ඉදිරිපත් කර තිබෙනවාද?
මම විලාසිතා දැක්මවල් කිහිපයකටම ඉදිරිපත් වී තිබෙනවා. මම විශ්වවිද්‍යාලයීය ව්‍යාපෘති තුළින් බිහි වූ නිර්මාණ එකතූන් තමයි දැනට ඉදිරිපත් කර තිබෙන්නේ.
ඔබේ මේ නිර්මාණ විදේශීය පාරිභෝගිකයන් සඳහා අලෙවි කිරීමේ අදහසක් තිබෙනවාද?
ඇත්තටම අදහසක් තියෙනවා. මට අවස්ථාවක් ලැබිලා තියෙනවා UK Fashion online store^ එකක් හරහා ඒ රටට අලෙවි කරන්න. ඒ රටවල ඉන්නවා ලංකාවේ හෑන්ඩ්ලූම්වලට ආස කරන අය. ඒ වගේම අපේ සාම්ප්‍රදායික ගෙත්තම්වලට ලොකු වෙළෙඳ පොළක් ඒ රටවල තිබෙනවා. ලංකාවේ රෙදි වියන වෙනම ජනපද තිබෙනවා. ඒ මිනිසුන්ටත් සේවයක් වෙන විදිහට ඒ ව්‍යාපාරය සිදුකරන්නයි මම බලාපොරොත්තු වන්නේ. මම මේ වනවිට ඒ ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙනවා.