පන් හා වේවැල්වලින් විශ්මිත නිර්මාණ සිදුකරමින් ජීවිතයේ සැදෑ සමය ගතකරන කාන්තාවක පසුගියදා දිඹුලාගල, මනම්පිටියේදී අපට මුණගැසිණි. ඇය නමින් කේ. සෝමාවතීය. රත්නපුර, කුරුවිට තම උපන් ගමේ ජීවත් වූ සිය මිත්තනියගෙන් හත් හැවිරිදි වියේදී මෙම කලාව ඉගෙන ගෙන ඇති ඇය, මේ වනවිට 80 වැනි වියේ පසුවන්නීය. සිය සැමියාගේ හදිසි මරණයෙන් පසු තම දෑතේ ශක්තියෙන් මැවූ නිර්මාණ අලෙවි කර, තම දරුවන් හයදෙනාට අවශ්‍ය පෝෂණය, අධ්‍යාපනය ලබාදීමට ඇය කටයුතු කළාය. දවසේ වැඩි කාලයක් කලාව සමග දිවිගෙවන මැය කලට, වේලාවට පන් ගසෙන් ඕනෑම නිර්මාණය කිරීමට තරම් දක්ෂ දිරිය මාතාවකි.
සෝමාවතී මහත්මියගේ පන් කලාවෙන් ගෝලයන් 3,000ක් පමණ ගුරුහරුකම් ලබා ඇති අතර, ඔවුන් අතුරෙන් ගුරුවරුන් දස දෙනෙකු පමණද බිහි වී ඇත. ඔවුහු මේ වනවිට දිවයිනේ විවිධ ප්‍ර‘දේශවල පන් භාණ්ඩ නිෂ්පාදනය කරමින් දෙස් විදෙස් සංචාරකයන් සඳහා එම භාණ්ඩ අලෙවි කරමින් ජීවිතය සරිකර ගන්නෝය.
පළාත් ජාතික මට්ටමින් විවිධ ප්‍රදර්ශනවලට පන් භාණ්ඩ නිර්මාණ ඉදිරිපත් කරන සෝමාවතී මහත්මිය පළාත් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් විවිධ ජයග්‍රහණ ලබමින් මෙරටට මහත් ගෞරවයක් ගෙනදීමට සමත් වී ඇත.
එමෙන්ම ඇය ජනපති සම්මාන, කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර, වසර ගණනාවක් පිට පිට දිරිය මාතාවට හිමි සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.
අප සමග සිය අදහස් දැක්වූ කේ. සෝමාවතී මහත්මිය,
“පන් වියනවා කියන්නේ භාවනාවක්. අද සමහර ගැහැනු ටී.වී. එක ඉදිරියේ නිකම්ම කාලය කා දමනවා. මම එහෙම නෑ. පන් ගසෙන් මම එක එක නිර්මාණ කරනවා. රටා පැදුරු, මල්පෝච්චි, බෝතල් ආවරණ, ලෑම්ප්, මඟුල් පුවරු, තොරණ, බිත්ති සැරසිලි වගේ ඕනෑම නිර්මාණයක් කරන්න මට පුළුවන්. වී කරල් කිලෝ එකකින් මම රුපියල් 2,000ක් විතර දොර අසලට නිර්මාණයක් කරලා ආදායම් අරන් තියෙනවා.
ඒ වගේම මම මේ පන් කලාවෙන් ගෝලයේ 3,000ක් විතර බිහිකරලා තියෙනවා. ගුරුවරු 10ක් රටට දායාද කරලා තියෙනවා. මම මැරෙනකම් මේ පන් කලාව නොමිලේ අපේ රටේ කාන්තාවන්ට පුහුණු කරන්න සූදානම්.
මේ පන් කලාව මම ලේසියෙන් අතහරින්නේ නැහැ. මම මේ පන් ගසෙන් විවිධ නිර්මාණ මවනවා. මම පිටරට සංචාරවලට ගියෙත් පන් ගස හරහා විවිධ නිර්මාණ කරලා ජයග්‍රහණ අරන්. අද මට පන් ගසෙන්, වී කරලෙන් ඕනෑම නිර්මාණයක් කරන්න හැකියාව තියෙනවා. අද තරුණයන්, කාන්තාවන් පන් වියන්න වැඩිය කැමති නැහැ. නමුත් මේක හොඳ ආදායමක්. ගෙදර ඉඳන් රැකියාව කරලා මාසයකට රුපියල් 30,000ක් 40,000ක් පමණ උපයාගන්න පුළුවන් කර්මාන්තයක් මේක. ඇළේ, දොළේ, විලේ වැවෙන පන් ගස තුළින් තමා මගේ පවුලේ ජීවිතය ජයගත්තේ.
පොලිතින්, ෂොපින් බෑග් පරිසරය කොතරම් වනසනවද, පන්වලින් මල්ලක් හදාගත්තොත් පරිසරයට කිසිම හානියකුත් නැහැ. වැඩි වියදමක් යන්නෙත් නැහැ. මම දඹාන, හේනානිගල, මහියංගණය පැතිවල ආදිවාසී අයටත් මේ පන් භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුරුදු කළා. ඒ අයත් දේශීය දේවල් අගය කරනවා. අද පන් භාණ්ඩ අලෙවි කරන්න මට නියමිත තැනක් නැහැ. පිටරට සංචාරකයන් මේවාට ආස කරනවා. ඒ අය ලංකාවට ආවත් මේවා දකින්න තැනක් නැහැ. පන් කලාව සඳහා දෙස් විදෙස් සංචාරකයන්ට මේ පන් භාණ්ඩ ප්‍රදර්ශනයටත් මිලදී ගන්නත් ස්ථාන කිහිපයක් දැම්මොත් අපේ රටට ලොකු ආර්ථික වාසියක් ගන්න පුළුවන්.
මම පන් ගසෙන් පැදුරු, තොප්පි, වට්ටි, පෙට්ටි, හැඳි දවටන, මල්පෝච්චි, දොර වියන්, ටේබල් ලෑම්ප් ආවරණ, මඟුල් පුවරු, බිත්ති සැරසිලි වගේ ඕනෑම නිර්මාණයක් කරනවා. කැරකෙන වෙසක් කූඩුවක් පවා නිර්මාණය කළා. මම ඉල්ලන්නේ සමාජයෙන් ගිලිහී යන පන් කර්මාන්තය සංවර්ධනය කරලා මේවා දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රදර්ශනය කරලා අපේ රටේ ජාතික ආර්ථිකයට මේ කර්මාන්තය ශක්තියක් කරගන්න කියලා. පිටරට පන් හා කෙඳි ආශ්රිත නිර්මාණ කරන්න තරුණියන් ලොකු උනන්දුවක් තියෙනවා. පන් කලාව පාසල් විෂය මාලාවට ඇතුළත් විය යුතුයි. එතකොට පාසලෙන් ඉවත්වෙන දරුවන්ට දෑතේ රැකියාවක් තියෙනවා. පන් භාණ්ඩ නිෂ්පාදනවලට අද සමාජයේ ලොකු ඉල්ලුමක් තිබුණත් පන් භාණ්ඩ නිෂ්පාදනය කරන කාන්තාවන්ගේ ලොකු හිඟයක් තියෙනවා. මේ සමාජයේ තරුණියන් සමහර කාන්තාවන් පන් ටිකක් කපලා, වේලාගෙන පැදුරක්, වට්ටියක්, පන් භාණ්ඩයක් වියා ගත්තාම ලොකු ලැජ්ජාවක් ඇතිවෙලා.
මම කොහේ ගියත්, මේ කලාව අත අරින්නේ නැහැ. කැලෑ මල්වලින් විවිධ නිර්මාණ කරනවා. සාමාන්‍ය‘යෙන් ගොවියෙකු වී කරල් කිලෝ එකකින් ගන්නේ රුපියල් 35යි 40යි. නමුත් මම ඒ විකරල් කිලෝ එකකින් රුපියල් 1,500ක් විතර උපයා ගන්නවා. ඒ කරල් කිලෝ එකකින් මම එක එක නිර්මාණ කරලා ඉස්සර මුදල් ඉපැයුවා. දැනුත් මම එක එක නිර්මාණ කරනවා. මම දැනුත් කැමතියි ඕනෑම කාන්තා සංවිධානයකට, කාන්තාවකට නොමිලේ මේ පන් කලාව පුරුදු පුහුණු කරන්න. මැරෙන්න පෙර මගෙන් රජය වැඩ ගන්න කියලා තමා මම කියන්නේ* යැයි පවසා සිටියාය.
ජීවිතයේ සැදෑ සමය නිදහසේ ගෙවීමට සෝමාවතී මහත්මියට ඉඩකඩ තිබුණද ඇය අදටත් මනම්පිටිය, මඩකලපුව මංසන්ධිය අසල මහවැලි ගොඩනැගිල්ලක හුදකලාවේ කලාව සමග දිවිගෙවන්නේ අප රටේ බොහෝ මවුවරුන්ට, කාන්තාවන්ට පූර්වාදර්ශයක් සපයමිනි.
මෙකී නිර්මාණ අලෙවියෙන් අප රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරගැනීමට හැකිනම් එය මහා වාසනාවකැයි සෝමාවතී මහත්මියගේ මෙන්ම අපගේද හැඟීමයි.
මනම්පිටිය - නිමල් ජයරත්න