මිනිස් ජීවිතයක අගය දන්නා ඇය තවත් එවැනිම ජීවන අරගලයේ නියුතු ජීවිතයක් බේරා ගැනීමට ගොස් පසුගියදා ජීවිතක්ෂයට පත්විය. ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය ඇය අද වන විට මුළු ලොවක් හඳුනන පලස්තීනයේ ස්වේච්ඡා හෙද සේවිකාවක වන රසාන් අල් නජාර් (Razan el Najjar) නම් විය.
පලස්තීන ගාසා දේශ සීමාවේදී වෙඩි තබා ඝාතනය කර තිබුණ ඇයගේ මරණය මේ වන විට අන්තර්ජාතික වශයෙන් ප්රබලව සාකච්ඡාවට භාජනය වී තිබේ. ඊශ්‍රායල ස්නයිපර්කරුවෙකු විසින් එල්ල කළ ප්‍රහාරයකින් මිය යන්නට පෙර ඇය දෑත් ඔසවා තමා යන්නේ තුවාල ලැබූ අයෙකුට ප්‍රතිකාර කරන්නට බව සංඥාවකින් පෙන්වා ඇත. නමුත් දෛවයේ සරදමට ඇයට තවත් ජීවත් වීමට ඒ කුරිරු භූමිය ඉඩ දුන්නේ නැත.
ඇය ඊශ්‍රායල වෙඩි ප්‍රහාරවලින් තුවාල ලබන විරෝධතාකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව මෙතෙක් කල් කටයුතු කර තිබේ. ස්වේච්ඡාවෙන් වුවද අන්තවාදීන් විසින් උදාකර තත්ත්වයේ දුක් විඳින ජනයාට නිබඳ පිහිටක් වූ ඇය මියයන මොහොත වනතුරුම තම සේවය අකුරටම සිදුකළ එඩිතර තරුණියකි.
1993 වර්ෂයේ සැප්තැම්බර් 11වැනිදා උපත ලද ඇයගේ සේවය අගේ කරමින් ගාසා තීරයේ සාමාන්‍ය ජනයා තම කඳුළුවලින් පුදකළේ ඇයට දිය හැකි හදපිරි ගෞරවයයි. පලස්තීන ධජය ඔතා ඇගේ දේහය ගෙන ගිය අතර පලස්තීනයේ බහුතරයකගේ අවසන් ගෞරවය එයට හිමි විය.
පසුගිය කාලවකවානුව පුරාම ඊශ්‍රායලය විසින් මෙලෙස නිරායුධ පලස්තීන විරෝධතාකරුවන්ට අමානුෂික ලෙසින් වෙඩි තබා ඝාතනය කර තිබීම නොයෙක් අවස්ථාවන්හි මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබීය. සමීක්ෂණ වාර්තා දක්වන පරිදි මේ තත්ත්වය නිසා දැනට මියගිය පලස්තීන විරෝධතාකරුවන් ගණන 123ක් පමණ වන අතර, 13,300 වැඩි පිරිසක් මේ වන විටත් තුවාල ලබා තිබේ. මේ වන විට ඔවුන් මේ සිදුකරන අමානුෂික ක්‍රියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කණ්ඩායම් විසින් තරයේ හෙළා දැක තිබේ.
1940 දශකය තෙක් දිවයන පලස්තීන ඊශ්‍රායල යුදමය තත්ත්වය තුළ සරණාගතයන් නැවත පැමිණීමේ අයිතිය ඉල්ලා ඇති නමුත් මෙහි ආරම්භය සිදුවන්නේ පසුගිය මාර්තු මාසයේදීය. එදා පලස්තීනුවන් 61ක් දෙනෙකු මියයන අතර, 2,400ට පමණ තුවාල සිදුවිය. හමාස් ව්‍යාපාරය නම් අන්තවාදී කණ්ඩායම හේතුවෙන් අමානුෂික ලෙස ජීවිත රැසක් මේ වන විට බිලිගෙන තිබේ.
යුද්ධය නිසා රටක් සම්පූර්ණයෙන්ම අස්ථාවර ෙවනවා මෙන්ම එයින් සිදුවන ජීවිත හා දේපොළ හානිය විශාලය. ක්‍රෑර ඊශ්‍රායල පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාපටිපාටිය නිසා පලස්තීනයේ සාමාන්‍ය වැසියන් විශාල සංඛාවක් මේ වන විට මුහුණපා ඇති තත්ත්වය එතරම් සුබදායී නොවේ. හමාස් ව්‍යාපාරය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළත් ඉන් ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ සාමාන්‍ය ජනතාවය.
පලස්තීනය යනුවෙන් හඳුන්වන්නේ බටහිර ඉවුර හා ගාසා තීරුව යන කොටස් දෙකම එක් කරගත් නිල නොවන රාජ්‍යයකි. හමාස් සංවිධානය ගාසා තීරයේ පාලනය අතට ගත් විට ඊශ්‍රායලය විසින් එකී ප්‍රදේශයට දැඩි ලෙස සම්බාධක පනවන ලදී. නමුත් අද වන විට එය අන්තවාදී සටනකින් ආරම්භ වූවත් කිසිදා නිම නොවනා අරගලයක් එසේත් නැතහොත් කුරිරු යුද්ධයක් වී අවසානය.