ඉපදී පළමු මාස හයක කාලයක් මවුකිරෙන් පමණක්ම පෝෂණය වූ දරුවෙකුට ආහාර හුරු කරන්නේ කෙසේද යන ගැටලුව බොහෝ මවුවරුන්ට ඇතිවන්නකි. මේ නිසාම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සායන හරහා මවුවරුන් දැනුවත් කිරීම් සිදුකරනුද දැකගත හැකිය.
මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් නිර්දේශයන් හඳුන්වා දී තිබේ. දරුවෙකුට ආහාර හුරු කිරීමේ ගැටලුවලට මුහුණදෙන මවුවරුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙලෙස එම නිර්දේශයන් පිළිබඳ සටහනක් තැබීමට අප සිතුවෙමු.
ළඳරුවන්ට හා ළමුන්ට ආහාර දීම පිළිබඳ වර්තමාන නිර්දේශ
පළමු මාස 6 සම්පූර්ණ වන තෙක් මවුකිරි පමණක් ලබාදීම ( වෙනත් කිසිම දියර වර්ගයක් හෝ ආහාරයක් නොදී) මෙහිදී නිර්දේශ කර ඇත. එයින් දරුවාගේ කායික හා බුද්ධි වර්ධනය ඉතා හොඳින් සිදු වේ.
මාස 6 සම්පූර්ණ වූ වහාම දරුවාට අර්ධ ඝන ආහාර හඳුන්වා දීම සිදුකළ යුතුවේ. එසේම සිහියේ තබාගත යුතු ප්‍රධාන කරුණක් වන්නේ පෝෂ්‍යදායී ආහාර සමගම අවුරුදු දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයක් මවුකිරි දිගටම ලබාදීම සිදුකළ යුතුය යන්නයි. එමගින් දරුවාගේ වර්ධනය හා සංවර්ධනය හොඳින් සිදු වේ.
දරුවාට ආහාර හඳුන්වා දෙන මුල් අවස්ථාවේ සිටම ආහාර උකු ස්වභාවයෙන් (හැන්දේ රැඳී පවතින) ලබාදීම සිදු කළ යුතුවේ. එනම් සකස් කරන ආහාරය දියර ලෙස නොවිය යුතුය. එයින් වැඩි ශක්තියක් හා පෝෂණයක් ලැබේ. ආහාර පිළියෙල කිරීමට තෙල්, උකු පොල් කිරි, බටර් ආදී දෑ එකතු කිරීමෙන් ආහාරයෙන් වැඩි ශක්තියක් දරුවාට ලැබේ.
මාස 6 සම්පූර්ණ වූ පසු ඉක්මණින් (පළමු වන සතියේදීම) සත්ත්වමය ආහාර (හාල්මැස්සන්, මාළු, කුකුල් මස්, මස්, පීකුදු) හඳුන්වා දීම සිදුකළ යුතුවේ. මෙම ආහාරවල පහසුවෙන් ශරීරයට උරාගත හැකි යකඩ සහ සින්ක්, කැල්සියම්, ප්‍රෝටීන් අඩංගු වන නිසා නිරෝගී වීමට, වර්ධනයට හා බුද්ධි වර්ධනයට උපකාරී වේ.
මාංස ෙභා්ග හා රනිල භෝග (පරිප්පු, බෝංචි, කඩල, කවුපි, මුං ඇට) හා ඇට වර්ග (කජු, රට කජු, කොට්ටම්බා, කොස් ඇට) වැනි ආහාරද එකතු කර ගැනීම.මෙම ආහාරවල දරුවාගේ වර්ධනයට අවශ්‍ය වැදගත් පෝෂ්‍ය ද්‍රව්‍ය අඩංගු වන බැවින් ක්‍රම ක්‍රමයෙන් ආහාර වේලට එක් කරගත යුතුය.
තද කොළ පාට පලා වර්ගද තද කහ/ තැඹිලි පාට පලතුරු සහ එළවළුද දිනපතා ආහාරයට එකතු කිරීම. මෙහි අඩංගු විටමින් ඒ සහ අනෙකුත් පෝෂක නිරෝගී ඇස් පෙනීමට හා ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට උපකාරී වේ.
මෙලෙස ආහාර ලබා දීමේදී දරුවාට ලබාදෙන ආහාර ප්‍රමාණයන් හා ආහාර වේල් ගණන පිළිබඳ ගැටලුවක් ඔබට ඇතිවිය හැකිය. ඒ අනුව දරුවාගේ වැඩීමත් සමග වැඩිපුර ආහාර වේල් ප්‍රමාණය වැඩි කිරීම, විවිධත්වයක් සහිත ආහාර වේල් ලබාදීම පිළිබඳ මෙලෙස නිර්දේශයන් සකස්කර තිබේ.
වයස අනුව නිර්දේශිත ආහාර
වේල් ගණන
මාස 7-8දී දිනකට ප්‍රධාන ආහාර වේල් 2-3ක් සමග අතරමැදට කෙටි වේල් 1 – 2ක්
මාස 9 – 24දී දිනකට ප්‍රධාන ආහාර වේල් 3ක් සමග අතරමැදට කෙටි වේල් 1 – 2ක්
දරුවා වැඩෙනවාත් සමග වේලකට අවශ්‍ය ආහාර ප්‍රමාණයද වැඩි කිරීම, ආහාරයේ ඝන බව/ කැබලි සහිත බව ක්‍රමයෙන් වැඩි කිරීම සිදුකළ යුතුවෙයි. ඒ අනුව නිර්දේශිත ආහාර ප්‍රමාණයන් මෙසේය.
ආහාර ප්‍රමාණය මාස 6 – 8 එක් වේලකට තේ හැඳි 2 -3ක ප්‍රමාණයකින් අරඹා වේලකට මිලි 200ක තේ කෝප්පයකින් ½ කට මඳක් වැඩියෙන් වනතෙක් වැඩි කරන්න.
මාස 9 – 11 වේලකට මිලි 200ක තේ කෝප්පයකින් ¾ක්
මාස 12 – 23 වේලකට මිලි 200ක තේ කෝප්පයකින් එකකට මඳක් වැඩියෙන්
ආහාරයේ ඝන බව මෙලෙස තීරණය කළ හැකිය.
පළමුව හොඳින් පොඩි කරගත් ආහාර
සියුම් කැබලි සහිත ආහාර
අතින් අල්ලා කන කෑම
පෝෂ්‍යදායී පවුලේ ආහාර
කුඩා දරුවන් ආහාර ගන්නා ආකාරය, එහි රස හා ස්වභාවය ගැන තවම ඉගෙන ගනිමින් සිටියි. එබැවින් ඉතා ඉවසීමෙන් ආහාර ගැනීමට උනන්දු කිරීම වටී. ළදරුවන්ට ආහාර කැවීම වැඩිහිටියෙකු අතින් සිදුකළ යුතුය. වැඩි වයස් දරුවන්ට තනිවම කන්නට දී එයට වැඩිහිටියන්ගේ උපකාරය ලබාදිය යුතුවේ. වැඩි වයස් දරුවන්ට පවුලේ අයත් සමග ආහාර ගැනීමට අවස්ථාව ලබාදීම ඉතා හොඳය.
දරුවෙකුට ආහාර ලබා දීමේදී මේ ගැනත් අවධානය යොමුකළ යුතුවේ.
බඩගිනි වීමේ හා බඩ පිරීමේ ලක්ෂණ හඳුනා ගන්න. බලෙන් ආහාර කැවීම නොකරන්න.
ආහාරදීම සඳහා නියමිත තැනක් තබා ගන්න. ආහාර වේල් සඳහා නියමිත වේලාවන් තබා ගන්න.
අවධානය වෙනතක නොයවා (රූපවාහිනිය බලමින්/ඇවිදිමින්/සතුන් පෙන්වමින්) ආහාර ගැනීමෙහි රඳවන්න.
ඇසට ඇස ගැටෙන සේ බලා ආදරයෙන් අමතන්න.
ආහාර ගන්නා අතර දරුවාට ප්‍රශංසා කරන්න.
දරුවා උනන්දු කිරීමට විවිධ ක්‍රම යොදා ගන්න. විවිධ ආහාර, සංකලන, රස හා ස්වභාවය වෙනස් කරන්න.
දරුවා රෝගීව සිටින විටත්, සුව වෙමින් සිටින විටත් වැඩියෙන් දියර වර්ග හා ආහාර ගැනීමට උනන්දු කිරීම වැඩිහිටියන් විසින් සිදුකළ යුතුය. ඉක්මන් සුවයටත්, නියමිත වර්ධනය පවත්වා ගැනීමටත් එය වැදගත්ය. රෝගීව සිටින හා සුවය ලබන දරුවෙකුට ආහාර ලබාදීෙම්දී සැලකිලිමත්විය යුතු කරුණු මෙසේය.
ආහාරපාන ගැනීමට ඉතා ඉවසීමෙන් යුතුව පොළඹවන්න
වරකට කුඩා ප්‍රමාණය බැගින් නිතර නිතර ලබාදෙන්න
දරුවා ප්‍රිය කරන පෝෂ්‍යදායී ආහාර වර්ග දෙන්න
පෝෂණ ගුණය වැඩි විවිධ ආහාර වර්ග දෙන්න
ආහාරයට වෙනදා මෙන්ම තෙල්/උකු පොල් කිරි එකතු කරන්න
මවුකිරි දිගටම ලබාදෙන්න