කටුපොල් වගාව නිසා සිදුවන පරිසර හානිය පිළිබඳව වර්තමානයේ ශ්‍රී ලාංකික පරිසරවේදීන් හඬ නගයි. ඔවුන් මෙලෙස හඩ නගද්දී කටුපොල් නිසා සිදුවූ පරිසර හානියත් පිළිබඳ නිදසුන් සපයන්නට යොදාගන්නා රටවල් අතරට ඉන්දුනීසියාවද ඇතුළත් වේ.
ඉන්දුනීසියාව තුළ ජෛව විවිධත්වයෙන් පොහොසත් නිවර්තන වැසි වනාන්තර පවතින අතර, මේවාට කටුපොල් වගාව නිසා ඇතිවුණ බලපෑම සුළුපටු නොවේ. විශේෂයෙන් වඳවීගෙන යන ඔරංඋටන්, ආසියානු අලින්, සුමාත්‍රා ව්‍යාඝ්‍රයන්, සුමාත්‍රා රයිනෝ ආදී සත්ත්වයින්ගේ නිජබිමක් බවට පත් වූ සුමාත්‍රාවේ ‘Leuser Ecosystem’ ලෙස හඳුන්වන ලොව අවසන් මිටියාවත් සහිත නොයිදුල් නිවර්තන වැසි වනාන්තරයේ කොටස් කටුපොල් වගාවට විවෘත කර දීමට එරට රජය මීට දස වසරකට පෙර තීරණය කරනු ලැබීය.
වර්තමානයේ මෙරට පරිසරවේදීන් කටුපොල් වගාවට එරෙහිව නැගී සිටින්නේ යම්සේද ඉන්දුනීසියානු රජය ගත් එම තීරණයට එරෙහිව එරට පරිසරවේදීන්ද නැගී සිටියහ. එලෙස නැගී සිටි පරිසරවේදීන් අතර ඉහළින්ම සිටි තැනැත්තියක ලෙස ෆර්විසා ෆර්හාන් නමැති තරුණ පරිසරවේදිනිය හඳුන්වා දිය හැකිය.
ඇය මෙම පරිසර පද්ධතිය රැක ගැනීම වෙනුවෙන් සමාගම් සමග නීතිමය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වෙමින් සුවිශාල මෙහෙවරක් වර්තමානයේද සිදුකරන්නීය. නාගරීකරණය හේතුවෙන් මහා මාර්ග ඉදිකිරීම සඳහාද නීතිවිරෝධී පතල් කැණීම් නිසාද ලෝකයේ ඉහළ ජෛව විවිධත්වයක් ඇති මෙම වනාන්තරය දැඩි තර්ජනයට ලක්ව තිබීම පිළිබඳව ඇය එරට ජනතාවගේද ඇස් පාදමින් සිටියි. විශේෂයෙන් නීති විරෝධී අයුරෙන් සිදුකරන ක්‍රියාවන්ට එරෙහිව නැගී සිටීමට ඇය එරට ප්‍රජාව බලාත්මක කිරීමට වැඩසටහන් රැසක් ගෙන තිබේ.
ඇය ඒ වෙනුවෙන් ‘Yayasan HAkA’ නමින් රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යනු ලබයි.
මම කුඩා කාලයේ පටන් බීබීසී බ්ලූ ප්ලැනට් වැනි පරිසර වැඩසටහන් නැරඹීමට වැඩි කැමැත්තක් දැක්වූවා. ඒ නිසාම මම කොරල් පරවලින් ගහන සමුදුරු පරිසරයට දැඩිව ආදරය කරන්නට පටන්ගත්තා. කුඩා කාලේ පටන් මගේ හදවතේ මේ ආදරය වැඩෙනකොට මම සාගර පරිසරවේදියෙකු ලෙස උපාධිය හදාරන්නට පෙළඹුණා. ඉගෙනීම් කටයුතු අවසන් කරමින් සිටිනවිට මම ආදරය කළ සමුද්‍රීය පරිසරය වෙත මම නැවත පැමිණියා. නමුත් දේශගුණික හේතු මත මම කුඩා කාලයේ පෙමින් බැඳුනු එම පරිසරය විනාශ වී ගොස් තිබුණා. එය දැකලා මට දරාගන්නට බැරි තරමේ කේන්තියක් දැනුනා යැයි ඇය මාධ්‍යයට පවසන්නීය.
මේ හේතුව නිසාම ඇය පරිසර සංරක්ෂණය කෙරෙහි යොමුවූ බවත්, මේ අනුව සුමාත්‍රාවේ ජෛව විවිධත්වය බහුලම පරිසරයට සිදුවන හානිය පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ බවත් ඇය සඳහන් කරයි.
ලෝකයේ වැඩිම ආදායමක් ලබන්න පුළුවන් වගාවන්වලින් එකක් තමයි පාම් වගාව කියන්නේ. විශාල වෙළෙඳ ව්‍යාපාරිකයන් ඒ නිසාම මෙම කර්මාන්තයට නිරන්තරයෙන් යොමු වෙනවා. මේ පාම් වගාව නිසා සුමාත්‍රාවේ ජෛව විවිධත්වයෙන් පොහොසත්ම නිවර්තන වැසිවනාන්තර කලාපයට බලපෑම් එන්නට පටන්ගත්තා. පාම් තෙල් කර්මාන්තයට එරෙහිව නැගී සිටීම සුළුපටු කාරණයක් නොවෙයි. නමුත් අපි ලෝකය පුරාම පාම් තෙල් වර්ජනයකට මග විවර කළ යුතුයි. පාම් තෙල් වෙනුවට වෙනත් සුදුසු තෙල් වර්ගයක් භාවිතයට ගැනීමට අපි හුරු විය යුතුයි* යැයි පවසමින් ඇය වැඩිදුරටත් හඬ අවධිකරන්නීය.
තවමත් තිස්වැනි වියේ පසුවන ඇය මේ වන විට ජාත්‍යන්තර මට්ටමේ සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙයි. විශේෂයෙන් ඇය ‘Whitley Awards’ වාර්ෂික සම්මානයෙන් 2016 වර්ෂයේ පිදුම් ලැබීමත් සමග ලොවම කතාබහට ලක්වන චරිතයක් බවට පත්වූවාය. එසේම ඇය පසුගිය වර්ෂයේ ‘Future For Nature’ සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.