ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද වන විට ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ඉතාමත් කැපී පෙනෙන කණ්ඩායමක් බවට පත් වී හමාරය. ඒ තැනට කණ්ඩායම ගෙන යෑමට දහඩිය මහන්සිය කැප කළ කාන්තාවෝ බොහෝය. ඒ අතර කැපී පෙනෙන ක්‍රීඩිකාවක ලෙස ශෂිකලා සිරිවර්ධන හැඳින්විය හැකිය. ඇය දැනට කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවද වේ. අද අප මේ කතාබහ සිදුකරනුයේ ඇය සමගය.
ඔබ ගැන විස්තරයක් කළොත්?
මගේ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, අයියයි.නංගියි. තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. මම ක්‍රිකට්වලට යොමු වුණේ තාත්තයි, අයියයි නිසා. ඒ මට අවුරුදු 11දී විතර. මගේ අයියා චාමර සිරිවර්ධන. ඔහු වෙස්ලි විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම වගේම ඉතාලි කණ්ඩායම නියෝජනය කළා.
ක්‍රිකට් ක්‍රීඩාවේ මේතාක් ඔබ ආ ගමන ගැන සඳහන් කළොත්?
තාත්තා තමා මාව අවුරුදු ගණනක් පුහුණුවීම්වලට එක්කගෙන ගියේ. මම හාර්ඩ් බෝල් ක්‍රිකට් පටන් ගත්තෙ %පාලින්ච් කෝච්^ ක්ලබ් එකේ. තාත්තාගෙ යාළුවෙක් වන ජයන්ත දිසානායක අංකල් තමා මාව පාලිත ගුණසේකර සර්ට හඳුන්වලා දුන්නේ. ඒ වෙද්දී ඒ සර් පිරිමි ළමයින්ට තමයි පුහුණුවීම් සිදුකළේ. නමුත් ඔහුට කාන්තා කණ්ඩායමක් නිර්මාණය කිරීමට අවශ්‍ය වෙලා තිබුණා. ඊට පස්සේ %පාලින්ක් ගර්ල්ස්^ කියලා ටීම් එකක් ආරම්භ කළා 98 අවුරුද්දේ. ඒ වෙද්දී මට අවුරුදු 12ක් වගේ වෙනවා. ඉන් අනතුරුව 2003 වර්ෂයේදී මම ජාතික කණ්ඩායමට තේරී පත්වෙනවා. මගේ පාසල කෝට්ටේ ජනාධිපති විද්‍යාලය. එහි ක්‍රිකට් ක්‍රීඩාව තිබුණෙ නැහැ ගැහැනු ළමයින්ට. නමුත් මම ඇත්ලැටික්ස් කළා. පළාත් වගේම සමස්ත ලංකා තරගවලට සහභාගි වුණා. මම 2005 අවුරුද්දෙ තමා මුලින්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වුණේ. ඉන් පසු වරින්වර තෙවතාවක් පමණ මම නායකත්වයට පත්වුණා. අවසන් වතාවට 2016 විස්සයි20 ලෝක කුසලානයේ නායකත්වය දැරුවා. ඉන්පසු මම අබාධයට ලක්වුණා. ඒ වගේම අනතුරකටත් ලක්වුණා. ඒ නිසා අවුරුද්දයි මාස 2ක් වගේ මම ක්‍රීඩාවෙන් ඉවත් වී ඉඳලා 2017 පන්දු වාර 50 ලෝක කුසලාන තරගාවලියට තමයි නැවත කණ්ඩායමට පැමිණියේ.
විවාහ ජීවිතයයි, ක්‍රිකට් ජීවිතයයි කොහොමද කාන්තාවක් විදියට ඔබ සමබර කර ගන්නේ?
මම 2013 වර්ෂයේ විවාහ වුණේ. මගේ සැමියා නාමල් සෙනෙවිරත්න. මම විවාහයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න අදහස් කර තිබුණේ. නමුත් සැමියාගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි මම තවමත් ක්‍රීඩාවේ නියැළෙන්නේ.
මම විවාහ වන විටත් කණ්ඩායම වෙනුවෙන් වසර 10කට වැඩි කාලයක් ක්‍රීඩා කළා. 2013 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලිය අපි හොඳට කළා. පළවෙනි වතාවට ඉන්දියාව, එංගලන්තය වගේ කණ්ඩායම් පරාජය කළා. ඉතිං මම හිතුවා විවාහයෙන් පසුව ක්‍රීඩාවෙන් සමුගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද මට බය තිබුණා ක්‍රීඩාව වෙනුවෙන් මට කැපවෙන්න අවස්ථාවක් නොලැබෙයි කියලා. නමුත් මගේ සැමියාත් කෑගලු විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඉන්පසු ඔහු එංගලන්තය වෙනුවෙන් ප්‍රාන්ත කණ්ඩායම්වලත් ක්‍රීඩා කරලා තිබෙනවා. මේ වෙද්දී ඔහු %මර්කන්ටයිල්^ ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරුවෙක් විදිහට සේවය කරනවා. ඒ නිසා ඔහුට හොඳට මේ ක්ෂේත්රය ගැන අවබෝධයක් තිබෙනවා. ඔහු පවසන්නේ මේ ලැබිලා තිබෙන අවස්ථාව හැමෝටම ලැබෙන දෙයක් නොවන නිසා දිගටම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්න කියා. විවාහයෙන් පසුව මට 2014 වසරේ විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වලින් පළමු තැන ලැබුණා. ඒ දෙයින්ම මට ලොකු සහයෝගයක් ලැබෙන බව පෙනෙනවා. මොකද මම ඒ වන විට ශ්‍රේණිගත කිරීම්වල හිටියේ 5 වැනි ස්ථානයේ. නමුත් මට කලින් කරපු කැපවීමම කරන්න පුළුවන් වුණා සැමියා මට ගොඩක් උස්සයිවා. ඒ කියන්නෙ නෑයන්ගෙ දේවල්වලට යන්න වෙන්නෙ නැහැ. ගෙදර වැඩ ගොඩක් අතපසු වෙනවා. සමහර දාට සතියෙ දවස් පහම පුහුණුවීම්. උදේ 6ට ගෙදරින් ආවම හවස හයයි ඉවර වෙද්දී. එහෙම බලද්දී මම හිතනවා ක්‍රීඩිකාවක් විදියට ලේසි නැහැ සැමියගේ සහයෝගය නැතිව සාර්ථකව පවුල සමබර කර ගන්න. මම ඒ අතින් ගොඩක් වාසනාවන්තයි.
කාන්තාවක් විදිහට ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වීමේදී මුහුණදුන් අභියෝග ගැන සඳහන් කළොත්?
ඇත්තටම පොඩි කාලේ බස් එකේ ලොකු බෑග් එකත් අරන් පුහුණුවීම්වලට යද්දී ගොඩක් දෙනෙක් හිනා වුණා. ඒක තමා ඒ කාලයේ හිතට දැණුනු ලොකුම අභියෝගය. ඉතිං මම සමහර දාට තාත්තට කියනවා තාත්තෙ මට බස් එකේ යන්න බැහැ. මට ලැජ්ජයි කියලා. තාත්තා කිව්වා දැන්ම ඉඳන්ම ඒ දේවල්වලට මුහුණදෙන්න පුරුදු වෙන්න. මොකද මේක පිරිමි ළමයින්ගේ ක්‍රීඩාවක් නිසා කියලා. 2000 වර්ෂය පමණ වෙද්දී කාන්තාවන් අතර මේ ක්‍රීඩාව ගොඩක් ප්‍රචලිත වී තිබුණෙ නැහැ. ඊට පස්සෙ ක්‍රීඩා කරද්දී ගොඩක් අභියෝග ආවා. ආර්ථික ප්‍රශ්නවලට ගොඩක් මුහුණදෙන්න සිදුවුණා. 2006 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තේරී පත්වන තෙක් අපිට ආර්ථික අපහසුතා තිබුණා. ඒ අපිට ඒ වෙද්දී අනුග්‍රාහකයො හිටියෙ නැති නිසා. ඉන් පස්සෙ 2006 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වුණාම තමයි මේ හැම පහසුකමම ලැබුණෙ. නමුත් දැන් වෙද්දී ඒ අභියෝග ගොඩක් අඩුයි. ගැහැනු ළමයින්ට ලෙහෙසියි.
කණ්ඩායමේ අත්දැකීම් වැඩිම ක්‍රීඩිකාව ලෙසට කණ්ඩායමට අලුතෙන් සම්බන්ධ වන අයට ඔබ මොන වගේ මගපෙන්වීමක්ද ලබාදෙන්නේ?
මම මේ වෙද්දී ජෙනරේෂන් තුනක් එක්ක පමණ සෙල්ලම් කරලා තියෙනවා. ඒ කියන්නෙ කාන්තා ක්‍රිකට් පටන් ගත්ත අක්කලා එක්කත්, මගේ වයසේ කට්ටිය එක්කත්, දැන් ක්‍රිකට්වලට අලුතෙන්ම සම්බන්ධ වුණ අය එක්ක මම ක්‍රීඩා කරලා තියෙනවා. මේ වෙද්දී ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන්ගෙන් අත්දැකීම් වැඩිම ක්‍රීඩිකාව මමයි. මම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ වෙලා අවුරුදු 15ක් පමණ වෙනවා. අලුතෙන් කණ්ඩායමට සම්බන්ධ වෙන්න ඉන්න අයට මම කියන්නෙ ආර්ථික පැත්ත බලාගෙන කණ්ඩායමට ක්‍රීඩා කරන්න සම්බන්ධ වෙන්න එපා කියලා. මම හැමෝටම කියන්නෙ ඒ දේවල් අපේ දක්ෂතාව මත ඉබේ ලැබෙන දෙයක්. මම ඒ අයට කියලා දෙන්නෙ මේ සිංහ ලාංඡනයේ තියෙන වටිනාකම සහ කණ්ඩායමේ තියන වටිනාකම ගැන. ඒ වගේම විනය සහ කැපවීම මේ සඳහා ගොඩක් අවශ්‍යයි. මම කියන්නෙ ක්‍රීඩා පිටිය තුළ අපිට ගැහැනු ළමයෙක් විදිහට සෙල්ලම් කරන්න බැහැ.මොකද මේක පිරිමි ළමයින්ගේ ක්‍රීඩාවක්. හොඳ කැපවීමක් වගේම හොඳ ජවයකින් ක්‍රීඩා කරන්න ඕන. නමුත් ක්‍රීඩා පිටියෙන් පිටතදී අපි සාමාන්‍ය ගැහැනු ළමයෙක්. ඒ වගේම ක්‍රීඩාවට සියයට සියයක් කැපවීම ලබාදෙන ගමන් අධ්‍යාපනයට මූලිකත්වය ලබාදෙන්න ඕන. මොකද අධ්‍යාපන දැනුමත් සමග ක්‍රිකට් ක්‍රීඩා කරද්දී ගොඩක් පහසුයි. මොකද ඒ බුද්ධි මට්ටම අවශ්‍යයි ක්‍රිකට් ක්‍රීඩාවෙන් හොඳ තැනකට එන්න. මම අලුතෙන් කණ්ඩායමට එක්වන ක්‍රීඩිකාවන්ට ඒ දේ තමයි කියන්නෙ.
කණ්ඩායම් නායිකාවක් ලෙස කටයුතු කිරීමේදී ලබාගත් ජයග්‍රහණ ගැන කතා කළොත්
2013 නායකත්වයෙන් පසු එක්දින තරගාවලියන්හිදී ළඟා කර ගත්ත ලොකුම ජයග්‍රහණය තමයි ශ්‍රේණිගත කිරීම්වලින් පස්වැනි ස්ථානයට පැමිණීම. එය 2013 ලෝක කුසලාන එකේදී තමයි ලබා ගත්තේ. ඒ වගේම පන්දුවාර 50 තරගවලින් ලංකාව පස්වෙනි තැනට ගේන්න පුළුවන් වුණේ මගේ නායකත්වය යටතේ පළමු වතාවට එංගලන්තය හා ඉන්දියාව පරාජය කරලා. ඒ වගේම ඉන්දියාවේදි විස්සයි20 තරගාවලියක් අපි ජයග්‍රහණය කළා. ඒ වගේ ජයග්‍රහණ ළඟා කරගන්න මට නායිකාවක් විදිහට හැකියාවක් ලැබුණා.
ඒ වගේම සාමාන්‍ය ක්‍රීඩිකාවක් විදියට මම විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල අංක එක වුණා. එමෙන්ම මම පන්දු රැකීම, පන්දු යැවීම සහ පන්දුවට පහරදීම් පැත්තෙන් පළමු දහය අතර ඉඳලා තිබෙනවා. ඒ වගේම අාසියා කණ්ඩායමේ උපනායකත්වය දරලා ඇෆ්ෙරා්ඒෂියා තරගාවලිය ජයග්‍රහණය කළා. ඒ වගේම මම ලකුණු 1500යි කඩුලු 100යි ගත්ත ආසියාවේ පළමු ක්‍රීඩිකාව. ඒ වගේම ලෝකයේ 4 වැනි ක්‍රීඩිකාව.
වර්තමානයේ පාසල් කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල තත්ත්වය මොන වගේද?
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සැලැස්ම යටතේ කාන්තා පාසල් බොහොමයක කාන්තා ක්‍රිකට් ආරම්භ කර තිබෙනවා. ඉස්සර හැම පළාතකම තුන හතරක පමණයි තිබුණේ. අලුතෙන් සංචිතයට පැමිණි ගොඩක් ළමයි අගනුවරින් පිටත ළමයි. මේ වෙද්දී දහනවයෙන් පහළ වගේම දහතුනෙන් පහළ කණ්ඩායම් වෙන වෙනම තිබෙනවා. ඉස්සර වගේ නෙමේ ගොඩක් තරගාවලි තිබෙනවා. ඉස්සර අපිට තිබුණෙ මුළු වසරටම තරග 6ක් වගේ ප්‍රමාණයක්. නමුත් මේ වෙද්දී තරග විශාල ප්‍රමාණයක් ලැබෙනවා.
කාන්තා ක්‍රීඩිකාවන් බොහොමයක් ජ්‍යෙෂ්ඨත්වයට පත්වීමෙන් පසු ක්‍රීඩා දිවියෙන් සමුගන්නවා. එය කණ්ඩායමට මුහුණදෙන්න වන අවාසි සහගත තත්ත්වයක් නේද?
දැන් තත්ත්වය ඊට තරමක් වෙනස්. මොකද දැන් පාසල් ක්‍රිකට් තිබෙනවා. මම අහඹු ලෙස අවුරුදු 12දී ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණියාට ගොඩක් ක්‍රීඩිකාවෝ අවුරුදු 19දී විතර ක්ලබ්වල සෙල්ලම් කරලා කණ්ඩායමට ඇතුළු වෙන්නෙ. එතකොට ඒ අය ජ්‍යෙෂ්ඨත්වයට පත්වෙද්දී සමහර වෙලාවට වයස අවුරුදු 32 ,33 වෙනවා. එතැන තමා අපිට ගොඩක් ගැටලුව තිබෙන්නෙ. මොකද ලංකාවේ, ආසියාව ගත්තම 32,33 වෙද්දී විවාහ වෙන ගැටලු එනවා. එතකොට ක්‍රීඩාවෙන් ජ්‍යෙෂ්ඨත්වයට පත්වෙද්දීම ගොඩක් ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවෙන් සමුගන්න සිදු වෙනවා. ඒ ප්රශ්නය දැනට තිබෙනවා. නමුත් පාසල් ක්‍රිකට් දැන් තිබෙන නිසා ඉදිරියේදී ඒ ගැටලුව නැතිවෙයි කියා හිතනවා. පාසල් ක්‍රිකට් නිසා ජ්‍යෙෂ්ඨත්වයට පත් වෙන්න 30,31 වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. අවුරුදු 25, 26දී ජ්‍යෙෂ්ඨත්වයට පත් වෙන්න පුළුවන් වෙනවා.විශේෂ ක්‍රීඩිකාවෝ ඉන්නවා අවුරුදු 30ට පසුවත් ශරීර යෝග්‍යතාව තිබෙන. ඒ අය කවුද කියන එක හඳුනගෙන නවක ක්‍රීඩිකාවන් සමග ක්‍රීඩාවේ යෙදෙන්න පුළුවන්.
ඔබගේ ඉදිරි බලාපොරොත්තු ගැන කතා කළොත්?
ඉදිරියේදී ලෝක කුසලාන 3ක් වගේ පැවැත්වීමට නියමිතයි. මගේ ශරීර යෝග්‍යතාව තිබෙන තාක්කල් ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම දැනට පුහුණුකාරිනියක වශයෙන්ද සේවය කරනවා. ඉදිරියේදී ක්‍රිකට් වැඩකටයුතුයි, මගේ පවුලේ වැඩකටයුතුයි හොඳින් සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වීමට බලාපොරොත්තුවෙන් සිටින ගැහැනු ළමයින්ට කියන්න තිබෙන්නේ මොන වගේ දේවල්ද?
ඇත්තටම ක්‍රිකට් බලලා දැකලා ගැහැනු ළමයි ගොඩක් ආසයි මේ ක්‍රීඩාව සඳහා යොමු වෙන්න. ගැහැනු ළමයෙක් ක්‍රිකට්වලට යන්නද කියලා ඇහුවොත් ගොඩක් අඩුයි ඒ දේට අවස්ථාව ලබාදෙන. මම දෙමවුපියන්ට කියන්න කැමතියි තමන්ගේ දුව එවැනි ඉල්ලීමක් කළොත් ඒ දරුවගෙ හැකියාව විශ්වාස කරලා ඒ දරුවට ඒ අවස්ථාව ලබාදෙන්න ඕන. ඒ වගේම ක්‍රිකට් කණ්ඩායමට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගැහැනු ළමයින්ට කියන්න කැමතියි ලංකාවට ක්‍රීඩා කිරීම ප්‍රධාන අරමුණ කරගෙන ජය පරාජය හොඳින් තේරුම් අරන් ක්‍රීඩා කිරීම තමා වැදගත්ම දේ. ඒ දේ සිහි තබාගෙන මෙතෙන්ට පැමිණියොත් අනෙක් හැමදේම ළඟා කරගන්න පුළුවන්.
ස්තුති කළ යුතු පිරිසක් සිටිනවාද?
අම්මා, තාත්තා ඇතුළු පවුලේ සැවොම වගේම. විශේෂයෙන් මගේ සැමියාටත්, මගේ පුහුණුකරුවන්ටත්, මේ දක්වා සෑම දෙයින්ම උපකාර කළ සැමටත් ස්තුති කරනවා.