එස්.එච්. ශ්‍රියාලතා, එම්.ඒ. අමරාවතී, එස්.බී. ලලිතා, කේ.එච්. සුරංගිකා යන හතු වගාකාරිණියන් විසින් රන්මිණිතැන්නේ ආරම්භ කර ඇති හතුවගාවන් සඳහා අද වනවිට හොඳ ඉල්ලුමක් තිබේ.
ඔවුන් පවසනුයේ දැඩි වියළි කාලගුණයක් පවතින තම ප්‍රදේශයේ කළ නොහැකියයි පවසා ඉවත දමා තිබූ හතු වගාව තමන් මහත් පරිශ්රම‘යෙන් සංවර්ධනය කර අද විශාල දියුණුවක් අත්පත් කරගෙන ඇති බවයි.
සංචාරක හෝටල් මගින් විවිධ ආහාර සඳහා හතු ඉල්ලීම හේතුවෙන් හතුවල වටිනාකම අද වනවිට ඉහළ ගොස් ඇති බව මෙම කාන්තාවෝ ප්‍රකාශ කරති.
ඇමෙරිකන් ඔයිස්ටර් නැමැති හතු වර්ගය මෙහිදී වගාකර ඇති අතර, ඒ සඳහා මූලික බීජ හම්බන්තොට වැලිහත්ත කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයෙන් මිලදී ගත හැකි බව ඔවුහු පවසති.
මෙලෙස ලබාගත් බීජ ඇසුරුම්ගත පොහොර රඳවන මත බහා මාසයකට වැඩිකලක් ජලපෝෂක ලබාදී රැකගැනීම සිදුකර හතුඵලදාව ලබාගැනීමට හැකි බවද මෙම කාන්තාවෝ පවසති.
එනමුදු හතුවගාවට පොල් අතු යෙදූ ගෘහයක් මුලදී සුදුසු බව නිර්දේශ කළද, අද වනවිට පවතින දැඩි උෂ්ණත්වයට ඔරොත්තු දීමට පොල් අතු වහළ ගෘහය නුසුදුසු බව කෘෂි නිලධාරීන් පැවසීම හේතුවෙන් අදාළ නවීන ගෘහයක් ඉදිකර ගැනීමට තමනට ශක්තියක් නොමැති බව ඔවුහු ප්‍රකාශ කර සිටිති.
දැඩි රස්නය හමුවේ හතු පිපීම බාල මට්ටමකට වැටුණහොත් තමන්ගේ රැකියාවට කණකොකා හඬනා බවත්, මේ නිසා පැය විසි හතරෙන් හරි අඩක්ම ජලයෙන් හතු බීජ තවාන් තෙමිය යුතු බවත් හතු වගාකාරිනියෝ පවසති.
කොපමණ බාධා පැමිණියද හතු වගාව අත්නොහරින බවත්, මෙමගින් ගමට, රටට යමක් සිදුකිරීමට තමන් බලාපොරොත්තුවන බවත් ඔවුහු අප හා පැවසූහ.
රුක්මන් රත්නායක