මධ්‍යම පළාත හා සබරගමුව පළාත මායිමේ පිහිටා ඇති මාවනැල්ල, කෙහෙල්පන්නල රිලාගල කඳුකර ප්‍රදේශයේ තවමත් නිරෝගී සුවයෙන් ජීවත් වන 100 හැවිරිදි කාන්තාවක පසුගියදා අපට මුණගැසිණි. ඇය නමින් ජාමුණි ගෙදර පිංචි නමැත්තියකි.
ඇයගේ වැඩිහිටි හැඳුනුම්පත අනුව එහි උපන් දිනය සඳහන් කර ඇත්තේ 1917 මාර්තු 20 වැනිදා ලෙසය. ඒ අනුව මේ වනවිට ඇයට වයස අවුරුදු 100ක් වන බව තහවුරු වෙයි. තුන්මුණුබුරන් දැක ඇති ඇය, මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොටසේ ජීවත් වන්නීය.
රිලාගල පිහිටි කඳුකර මුදුනේ පවුල් 40කට වැඩි පිරිසක් ජීවත් වුවද ඔවුන් අගහිඟකම් මධ්‍යයේ ජීවිකාව ගෙනයන්නේ බෝග වගාවලින් ලබාගන්නා ආදායම් මාර්ගවලින් හා කුලී වැඩ කටයුතුවලින් සොයාගන්නා මුදල්වලිනි.
දුෂ්කර මාර්ගයකින් සිය ගමට යන ඔවුහු හෙම්මාතගම, බලත්ගමුවෙන් හෝ ගම්පොළ කුරුඳුවත්තෙන් ඇති මාර්ගයෙන් ගොස් එතැන් සිට කුඩා අඩි පාරක් ඔස්සේ ගමට පිවිසෙති. සාමාන්‍යයෙන් මෙම ගම්මානයට පයින් යෑමට පැයකට අධික කාලයක් ගතවෙයි.
මෙරට බිතාන්යන් විසින් පාලනය කරන ලද කාලවකවානුවේ තමන්ට රිලාගල මුදුනේ පදිංචියට නිවසක් සදාගැනීමට අවසරය දුන් බව පිංචි මාතාව පවසයි. විදේශිකයන් සතු තේ වතුවල තේ දළු නෙළමින් ඔවුන්ගෙන් වැටුප් ලබමින් ජීවිකාව පවත්වාගෙන ගිය බව ඇය අප සමග පවසා සිටියාය.
දරුවන් දසදෙනෙකු හැදූ වැඩූ තමන් 'උක්කු' නැමැති තම ස්වාමියා සමග රිලාගල කඳු මුදුනේ ජීවත්වූ බවත්, තම මුල් පදිංචිය ගම්පොළ, වැටකදෙණිය බවත් ඇය පවසයි.
''මම හිටියේ වැටකදෙණියේ අපේ තාත්තාගේ ගමේ. තාත්තාගේ නම කිරිහොඳා. අම්මාගේ නම මට මතක හැටියට පුංචිනා හෝ රන්කිරා වෙන්න ඇති. මොකද අම්මාගේ නම මට නිච්චියටම මතක නැත්තේ අම්මා අපි ඉපදෙනකොටම මැරුණා. සහෝදරයෝ ටිකගේ නම් ටික මතකයි. අක්කා උක්කුඅම්මා, මල්ලිලා දෙන්නා උක්කුවා හා බිලිඳා. නංගිගේ නම ලැයිසා. අපි ඉස්සර මෙහාට එනකොට කැලෑ පාරවල් තිබුණෙ. ගම්සභා පාරවල් අපි සුද්ධ කරගෙන තමයි මේ ගමට ඇවිත් පදිංචි වුණේ.
පස්සෙ සුද්දො ගියාට පස්සෙ තමයි මේ පාරවල් ටිකක් හරි යන්න පුළුවන් විදිහට හැදුණෙ. උන් ගල්බැම් අපි ලව්ව අල්ලාගෙන අශ්වයා පිටින් මේවායේ තේ වගා කරලා ඒවා බලන්න ඒමේ අත උන් පිටේ නැගලා දක්වනවා. අම්බුළුවාවේ සුද්දො ස්ටෝරුවක් (තේ කර්මාන්ත ශාලාවක්) හදාගෙන දළු ඇඹරුවා.
අපි තේ දළු නෙළුවා. දවසට අපිට පොඩි ගාණත් තමයි දුන්නෙ. දවසකටම රුපියල් 05ක්ද කොහේදෝ. ඒ දවස්වල සුද්දා අපි දළු කඩනවා බලන්න නිතරම යනවා. නැත්නම් බංගලාවට වේලා බලා ඉන්නවා. මට මතකයේ හැටියට අශ්වයො දෙන්නෙක්ද කොහෙදෝ හිටියා'' යැයි ඇය තම දිගු ඉතිහාසය මතක් කරමින් පවසයි.
එම කාලවකවානුවේ ආහාර සඳහා භාවිත දෑ පිළිබඳව අප මීළඟට ඇයගෙන් විමසා සිටි අතර, ඇය පවසා සිටියේ, ''අනේ ඉතින් කැවේ වෙන මොනවාද? කොස්, දෙල්, බතල, මඤ්ඤොක්කා ඕවා තමයි ඒ කාලේ කැවේ. දැන් වාගේ බත් කෑවෙ නැහැ. අපි මේකට එනකොට මහා කැලයක් තමයි තිබුණෙ. පස්සේ එළිපෙහෙළි කරලා වගා කළා. මට මතක හැටියට අපි ආවාට පස්සෙ තමයි මිනිස්සු මේ පැත්තේ පදිංචියට ආවේ. සුද්දො තමයි ගෙවල් හදාගනිල්ලා කියලා අපිට එන්න කිව්වේ.
ඉස්සර ගෙදරකට බඩුවක් කාරිය ගෙන්න පයින් තමයි යන්න ඕන. වරකාවල (මධ්‍යම පළාතේ පිහිටි නගරයක්) පැත්තට හෝ හෙම්මාතගම ටවුමට, ගම්පොළ ටවුමට පයින් යන්න ඕන. බස් දැම්මාට පස්සෙ තමයි පස්සෙ කාලේ අපි ඒවාගේ ගියේ. පයින් යන කාලේ උදේ ගියාම හැන්දෑවට තමයි ගෙදර එන්නෙ බබාලා හම්බ වෙනකොටත් අපි පයින් ගිහින් තමයි ඉස්පිරිතාලයකට ගියේ.
නැතිනම් වින්දඹු අම්මාට කියනවා. ඉස්සර අද වාගේ ඔය ටවුන් හොඳට තිබුණෙ නැහැ, කඩවල් තැනින්තැන ගොඩාක්. ඒවා පොල්අතු වහලා මැටි ගහලා තිබුණා. ටකරන් දාපුවත් තිබුණා. බඩු ගණන් නැහැ, අද වාගේ. ඉස්සර හාල් රුපියල් 20ටත් අඩුයි. අද සිය ගණන්'' යනුවෙනි.
වයසට ගිහින් ඉන්නකොට මොන වාගේ දේවල්ද හිතෙන්නෙ යැයි අප ඇයගෙන් විමසා සිටි අතර, ඇය පවසා සිටියේ, ''එකක් නෙවෙයි හිතෙන්නෙ. දැන් මැරෙන්නේ කවද්ද කියලා තමයි බලාගෙන ඉන්නෙ. ඒ තරම් කල්පනාව වැඩි මැරෙන්නෙත් නැහැනෙ. ඒවා කල්පනා කරලා හින්දා තමයි සමහර ඒවා මතක නැතිවෙලා තියෙන්නෙ'' යනුවෙනි.
Q දරුවෝ සලකනවාද?
දරුවන්ටත් සලකන්න තිබ්බොත් සලකයි. තියෙන හින්දා සලකනවා.
ඇය සිය මතකයේ තිබූ ඇතැම් දේවල් මෙලෙස අප සමග පැවසුවාය.
''ගියපු හැම වන්දනා ගමනක්ම ගියේ පයින්. දවස් 07 වන්දනා ගමන්, 10 ගමන් තමයි තිබුණෙ. මගදිගට නැවතිලා යනවා. පරවල් ගාණෙ නවතිනවා, එක තැනක නෙවෙයි. අම්බලන්වලත් ඉන්නවා. සිරිපාදේ යන්නත් දවස් 04ක් විතර යනවා. කන්නබොන්න ගෙවල්වලින් අරගෙන තමයි යන්නේ. හාල් ටිකක් මගින් ගන්නවා.
මාළිගාවට නම් ගිහින් ඇති අනේ අප්පෝ මාගේ ඔළුවේ හිසකෙයියා ගාණට. ඒ වාගේම මාළිගාවේ දවල් පෙරහරවල් බලලා තියෙනවා. නැවතිලා සිල් අරන් තියෙනවා. ඒ දවස්වල බොහෝම අගේට පිං කරගත්තා. පුළුවන් කාලේ ගමේ අවාසයට වාගේම කෙහෙල්පන්නල පන්සලට ගිහින් සිල් ගත්තා. පිංකම්වලට සම්බන්ධ වුණා.''
Q ඉස්සර මිනිස්සු හොඳයිද? පිංචිඅම්මා ඉස්කෝලේ ගියේ නැද්ද?
''දැන් ඉන්න එවුන් වාගේම තමයි මිනිස්සු වෙනසක් නැහැ. නමුත් දැන් එවුන්ට වඩා ඒ මිනිස්සු මට හිතෙනවා ගුණයහපත් කියලා. මම ඉස්කෝලෙ ගියේ නැහැ. අපි පොඩි කාලේ ඉස්කෝල තිබුණා, නමුත් කෙල්ලෝ ඉස්කෝලෙ ඇරියොත් හදන්න බැහැ කියලා අපේ අම්මලා ඉස්කෝලෙ ඇරියේ නැහැ. ඉතින් අම්මලා තාත්තලා කුලීවැඩ කරලා කන්න බොන්න දුන්නා. අපි ගෙවල්වලට වේලා හිටියා. ගේදොර වැඩකටයුතු හැම එකක්ම කළා, දැන් ඉන්න ළමිස්සියෝ වාගේ නෙවෙයි.''
මේ වනවිට මේ ප්‍රදේශයේ ජලය අඩුවී ඇති බව පවසන ඇය එදා හා අද තත්ත්වයන් පිළිබවද මෙලෙස පවසා සිටියාය.
''අද මොනවා වේලාද මන්දා වතුර අඩුයි. ඉස්සර ගොඩක් තරම් වතුර තිබ්බා. උල්පත් හැමතැනම. නියඟයක් ආවා කියලා වතුර අඩුවුණේ නැහැ. දැන් සතෙකුට බොන්නවත් වතුර නැහැ. ඒ මදිවට රිලව්න්ගෙන්, ඌරන්ගෙන් කරදර. නමුත් ඉස්සර කාලේ මේ වාගේ කරදර තිබුණෙ නැහැ.''
ඇයගේ අතෙහි සලකුණක් කොටා තිබෙණු දුටු අපි ඒ පිළිබඳව ඇයගෙන් විමසා සිටියෙමු.
''මේ පච්චය කොටලා තියෙන්නෙ ගම්පොළ හිටපු මළයාලම්කාරයෙක්. මාගේ හිසේ කැක්කුමක් තිබුණා, හොඳ වෙන්නේම නැති නිසා ඒ මනුස්සයා ගාවට ගියාම කිව්වා මෙහෙම පච්චයක් ගහපුවාම හොඳවෙයි කියලා.''
කෙසේවෙතත් මෙම පච්චයේ කොටා ඇත්තේ සිදුහත් කුමරු නෙළුම් මල් 07ක් උඩ ඇවිද යන රූපයකි. සිදුහත් කුමරුගේ රූපයක් කොටන්නට තරම් ඇය ඒ අවස්ථාවේ අනුගත වූයේ කුමක් නිසාදැයි වැඩි විස්තරයක් කිරීමට ඇය පසුබට වූවාය.
පිංචි මතාවට දරුවන් 10 දෙනෙකු වන අතර එයින් 07 දෙනෙකු පිරිමි දරුවන්ය. දැනට ඇය නැවතී සිටින්නේ බාලම දරුවා වන 62 හැවිරිදි පී.ජී. සෝමපාල ළඟය. ඇයව බලා ගෙන ඇයගේ කටයුතු නිරන්තරයෙන් සොයාබලා කටයුතු කරන්නේ සෝමපාලගේ බිරිඳ නැතිනම් ලේලිය වන 60 හැවිරිදි පී.ජී. නන්දාවති විසිනි. ඇතැම් කාන්තාවන් තම නැන්දම්මාට සලකන්නේ නැති තරම් වුවද ඇය මෙම මාතාවට සලකනුයේ තමන්ගේම මවක ලෙසිනි.
අප පිංචිමාතාව සමග කතා කරමින් සිටි හෝරා කිහිපයේදී ඇයට සලකන ලේලියගේ (නන්දාවතී) අඩුවක් ඇයගේ මුවින් පිටනොවීය.
මාවනැල්ල - හෙම්මාතගම විජය බණ්ඩාර