ගැහැනුන්ගේ නුවණ හැඳි මිටේ දිග තරම් යැයි ගැමි වහරේ කතාවක් තිබුණද මුළු ලොවම ජයගත හැකි ශක්තියක් ගැහැනියට දායාද වී තිබීම කාන්තාව ලබනා මහත් අභිමානයකි.
ඒ අභිමානය කුසීතව සිට ලබාගත නොහැකි බවත්, දිරියෙන් යුතුව කටයුතු කළහොත් ලොවක් ජයගැනීමට ශක්තියක් කාන්තාව සතු බවත් මේ කතාවෙන් පැහැදිලි වේ.
ඇය නමින් එච්.එස් ඉෂානි නම් වේ. දෙබරවැව ඉෂානි මෝටර්ස් අධිපතිනිය වන ඇය මෝටර් කාර්මික ක්ෂේත්රයේ දැනුමක් ඇති කාන්තාවකි. තම ස්වාමියා වන කේ.ජී. ප්රියන්තගෙන් ලද ගුරුහරුකම් මත මෝටර් බයිසිකල් අලුත්වැඩියා කටයුතු ඉතාමත් විශිෂ්ට ලෙස සිදුකිරීමට ඉෂානි මේ වන විට කටයුතු කරමින් සිටී.
සියුමැලි අත්වල මජං තැවරුණත් මෝටර් බයිසිකල්වල එන්ජින් දෝෂ, චේන් ස්පොකට් සවිකිරීම, කාබලේටර් සුද්ධ කිරීම, එයාෆිල්ටර් සුද්ධ කිරීම, සයිලන්සර් අලුත්වැඩියාව යන සෑම කටයුත්තක්ම තමා විසින් සිදුකරන බව ඉෂානි පවසයි.
දැනට, වසර 10කට අධික කාලයක් පුරා මෙම යතුරුපැදි අලුත්වැඩියා කටයුතු සිදුකරන්නේ තමන් දන්නා දැනුමෙන් සේවයක් සිදුකර, එමගින් ආර්ථිකය ශක්තිමත් කරගැනීමට බව ඉෂානි සතුටින් ප්රකාශකර සිටියාය.
තිස්සමහාරාම - රුක්මන් රත්නායක