සුෂුම්නාවේ ආබාධයක් හේතුවෙන් එක්තැන්ව සිටින සිය සැමියාද හවුල් කරගනිමින් පවුලේ ආදායම සරි කරගැනීම සඳහා හම් සහ රබර් යොදාගෙන විවිධ නිර්මාණ සිදුකරන දිරිය කාන්තාවක් බදුල්ල ප්‍රදේශයේ පැවැති ප්‍රදර්ශනයකදී අපට හමුවිය.
ඇය දොඹගහවෙල ගංගොඩගම නීලා සමන්තිය.
සිය සැමියාගේද සහාය ඇතිව ඇය මේ වනවිට රබර් සෙරෙප්පු අත් බෑග් ඇතුළු නිෂ්පාදන රැසක් නිපදවන අතර, ඒවා අලෙවියෙන් ලැබෙන ආදායමින් සිය පවුලේ විය පැහැදම් පිරිමසා ගන්නා බව ඇය අප සමග කීවාය.
මේ වනවිට ප්‍රදේශය තුළ පැවැත්වෙන බොහෝ අලෙවි ප්‍රදර්ශනවල මෙන්ම සති පොළවල්වල ඇයගේ භාණ්ඩවලට ඉතා ඉහළ ඉල්ලුමක් ඇතැයිද ඇය පවසන්නීය.
ඒ පිළිබඳ ඇය මෙසේ අදහස් දැක්වූවාය.
''මම උපන්නේ කළුතර. විවාහ වෙලා තමා මෙහාට ආවේ. මගේ මහත්තයා අනතුරක් නිසා රෝද පුටුවක තමා ඉන්නේ. එයා රෝද පුටුවේ හිටියත් විවිධ නිර්මාණ කරන්න හරිම දක්ෂයි. එයාගෙනුත් මගේ මේ රස්සාවට විශාල සහායක් ලැබෙනවා.
පවුලේ වියදම් පියවා ගන්න මොකක් හරි ජීවන මාර්ගයක් හොයා ගන්න ඕනි කියල හිතද්දී තමා මේ රස්සාව ගැන අදහස ආවේ.
සමාජ සේවා අමාත්‍යාංශය මගින් රබර් සපත්තු සෙරෙප්පු වගේම බෑග් මහන්න කියල දෙන එක්දින පුහුණුවක් පැවැත්වුණා. මමත් ඒකට ගියා. ඒ ගිහින් තමා මේ ගැන මුලින්ම දැන ගත්තේ. ඊට පස්සේ ඒ ගැන උගන්වන මිස් කෙනෙක් ගෙදරට එක්කගෙන ඇවිත් මගේ මහත්තයයි මමයි දෙන්න තව දුරටත් ඒ ගැන ඉගන ගත්තා. දැන් අපි දෙන්නම එකතුවෙලා බෑග් , සෙරෙප්පු ආදිය මහනවා. බඩු ටික ළඟට දුන්නම මහත්තයත් ඒවා කරනවා.
සෑහෙන ප්‍රමාණයක් හදා ගත්තට පස්සේ ඒ ටික වෙළඳපළට අරන් යනවා. ඒ වගේම සමෘද්ධී ප්‍රදර්ශන වගේ ප්‍රදර්ශන තියෙන තැන්වලටත් මේ නිෂ්පාදන අරන් යනවා.
අපිට හිතෙන විදිහට වගේම පාරිභෝගිකයො ඉල්ලන විදිහටත් මම මේ නිර්මාණ කරන නිසා මේවට විශාල ඉල්ලුමක් තියෙනවා.ගෙදර හදන නිසා මේව ශක්තියෙන් වැඩියි කියලත් මිලදී ගන්න අය කියනවා. අද කාලේ මිනිස්සු මිලටත් වඩා බලන්නේ හයිය සහ ගුණාත්මකභාවය. අපි ඒ දේ දැනගෙන පාරිභෝගිකයො ඉල්ලන දේ දෙන්න නිතරම මහන්සි වෙන නිසා වෙළඳපොළ ගැටලුවක් මේ වනතුරු ඇවිත් නැහැ. සමහර අය මේ නිසා ගෙදරටම ඇවිල්ලත් අවශ්‍ය විලාසිතාව කියලා බෑග් සෙරෙප්පු ආදිය මහ ගන්නවා.
අපි දෙන්න එකතු වුණාම කතා කර කර මේ රස්සාව කරන නිසා පාලුවක් දැනෙන්නේ නැහැ. ඒ වගේම එපා වෙන්නෙත් නැහැ. අපේ සමගියත් වැඩිවෙනවා. ඒ නිසා අද වනවිට අපි මේ රස්සාවෙන් ආදායමක් ලබනව වගේම ගෙදර සතුට සමාදානයත් රැකගෙන සතුටින් ජීවත්වෙනවා. කිසියම් කෙනෙකුට මෙම නිර්මාණ මිලදී ගන්නට හෝ ඇනවුම් ලබාදෙන්නට අවශ්‍ය නම් දුරකථන අංක 071 5 621 228, 055 4 916 720 ට හෝ 077 5 255 488ට කතා කිරීමෙන් මාව සම්බන්ධ කරගත හැකියි.''
මීගහකිවුල - එන්. කේ. නිශ්ශංක