වසරක අවසානය තව දින කිහිපයකින් ගෙවී යන්නේ අලුත් වසරක ආරම්භයේ උණුසුම අප හදවත්වල සනිටුහන් කරමිනි. එනිසා වසර අග සහ අලුත් වසරේ මුලපිරීමත් ඔබේ දහසකුත් වැඩ රාජකාරි ගොන්නට තවත් කාරණා කිහිපයක්ම එකතු කරගන්නට සිදුවෙනු ඇත. ගෙදරදොර හැඩවැඩ, නව පාසල් වාරය, නත්තල් දින, ඇඳුම් පැලඳුම් යන අනේක වැඩ රාජකාරි මෙම මස ඔබව වෙහෙස කරන කාරණා අතර මුල්තැනට පැමිණේ. මේ කාරණා බොහෝ විට මහමග, කඩසාප්පු අතරේ රැඳෙමින් සපුරාගත යුතු අවශ්‍යතා නිසාත්, පාසල් නිවාඩුව සමග දරුවන්ද මේ කටයුතු සඳහා සහභාගි කර ගන්නට සිදුවන්නේ නම් මේ මතක් කිරීම ඒ දරුවන් වෙනුවෙන්මය.
පුංචි පැංචියන්ට නළියන්නමයි හිත
පුංචි පැංචියන්ගෙ වැඩබොහොම සුන්දරයි වගේම දඟකාරය. කොතරම් තහංචි සීමා පැනවූවත් ඒවා හරියට බීරි අලින්ට වීණා වාදනයක් වැනිය. අලි පැටවුන්ටත් එකතැනකට ඉන්න බැරිකල පුංචි දඟකාර දරුවන්ටත් අපි කියන විදිහට ඉන්න අමාරුය. ඒ නිසා නිවසින් එළියට බහින්නට පෙර ඔබ දෙන අවවාද අනුශාසනා බොහොම ඉක්මනින් ඔවුන්ගේ ජීවිත මෙවැනි සාප්පු සවාරි ගමන්බිමන්වලින් එක්කරන්නෙ අපූරු ආස්වාදයකි. 'මගෙ පුතා අම්මා ළඟම ඉන්න හොඳද' ලෙසින් ඔබ පැවසුවද වයස අවු 2-6 වයස් කාණ්ඩවල පසුවන දරුවෙකුට එලෙස සිටීම තරමක් අසීරුය.
යමක් දුටු සැණින් තෘප්තිමත් වන මානසිකත්ව බහුතරයකටම නැති නිසා දරුවා ඔබේ උපදෙස් නොපිළිපදින්නට ඉඩ තිබේ. අද බොහෝ විලාසිතාගාර ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ලබාගන්නා නිසා දරුවා ඔබට පෙනෙන මානයේ ඇවිද සිටීම අස්වැසිල්ලක් ලෙසින් සිත සනසා ගන්නට ඔබ කිසිවිටෙක උත්සාහ නොගත යුතුය. ඇසිපිය සලන මොහොතද ඔබේ දරුවාට අනතුරක් වන්නට අවස්ථාවක් සැලසෙන බැවින් කල්පනාකාරී වීම වර්තමානයේ අවශ්‍යතාවකි.
විදුලි පඩිපෙළ, ඉහළ සඳලුතලය හරි පරිස්සමෙන්
සුපිරි විලාසිතාගාර බොහොමයකම පාරිභෝගික පහසුව සඳහාම විදුලි පඩිපෙළ හෝ විදුලි සෝපා සහාය ලබාගත හැකිය. නමුත් නිතර පරිහරණය සිදුනොවන මෙවැනි අවස්ථා ප්‍ර‘යෝජනයට ගැනීමේදී දරුවාගේ දඟකාරකම් ගැන අවධානයෙන් සිටීම වැදගත්ය. එම දිනයක සියලු රාජකාරි සපුරා ගැනීමේ අවශ්‍යතාවක් ඇති නිසා ඔබේ මනසද තරමක් ව්‍යාකූල විය හැකිය. ඇතැම් විට බඩුමලු දෙකතුනක් අතැතිව ගමන්කරන ඔබ, දරුවාගේ අත මොහොතකට හෝ නිදහස් නොකළ යුතුය. ඔවුන්ට මෙය විනෝදාකාරී සෙල්ලමක් ලෙස හැඟුණද එය එලෙසින් භුක්ති විඳීමට යෑම අනතුරු බව පවසා ඔබේ ආරක්ෂාව සමග එතැනින් පිටත්වීමට වගබලා ගැනීම අවශ්‍ය වෙයි.
එසේම තට්ටු කිහිපයකින් සමන්විත ඇතැම් සාප්පු සංකීර්ණ ඉහළ මහලේ සිට පහත මාලය හොඳින් පෙණෙන ලෙස නිර්මාණය කර ඇත. සමහර විට ඔබේ දරුවා එහි ඇති සඳලුතල වැටෙන් පහත මහල දෙස එබී බලන්නට උනන්දු විය හැකිය. ඔබේ දෑස මඟහැරුණු මෙවැනි සිදුවීමකින් සිදුවිය හැකි අනතුර හදපතුල කීරි ගැසී යනු ඇත. සුපිරි නිමාවකින් යුතු මෙවන් විලාසිතාගාරවල පොළොවෙහි ලිස්සන සුලු ස්වභාවය ඇතැම් දරුවෙකුට විනෝදකාරී සෙල්ලමක් විය හැකිය. ඊට ඔවුන්ගේ වයසේ පසුවන දරුවෙකු මුණගැසුණහොත් එය තවත් දෙගුණ තෙගුණ වීම සිදුවෙයි. සිදුවන බොහෝ වැරදිවල පසුඅයිතිය හැදූවැඩූ මව වෙත යොමුවන වකවානුවක ඒ දරුවාගේ ආරක්ෂකයා ලෙස මෙම වකවානුවේ ඔබ මතක තබාගත යුතු දෙයකි.
පොදු ප්‍රවාහන සේවයේදී සැලකිලිමත් වන්න
දරුවන් සමග පොදු ප්‍රවාහන සේවයක ගමන් ගන්නා විට ඔබේ ගමන් මලුවලට වඩා දරුවාගේ ආරක්ෂාවට ඔබේ දෑස් යොමු කළ යුතුය. කුඩා දරුවන් නොව නව යොවුන් වියේ දරුවෙකුට පවා මෙවන් අවස්ථාවල ලිංගික හිංසනයට මානබලන අධමයන් සිටිය හැකිය.ගමන්මලු කිහිපයක්ම අතැතිව ගමන් කරන ඔබට දරුවා තම සමීපයේ තබාගැනීම අසීරු නම් සෙනග අඩු දරුවා සමග සමීපව අසුන් ගත හැකි බසයක් පැමිණෙන තුරු රැඳී සිටිය හැකිය. එසේ නැතිනම් මෙතරම් මුදලක් වියදම් කරන පසුබිමක ආරක්ෂිත කුලී රථයක් ගෙන්වා ගැනීම හැම අතකින්ම ආරක්ෂිතය. එලෙස වියදම් වන මුදලට වඩා දරුවාගේ ආරක්ෂාව මුදල්වලින් පිරිමැසිය නොහැකි බැවින් දෙවරක් නොසිතා ආරක්ෂිත පිළිවෙල අනුගමනය කිරීම වඩා සුදුසුය.
මහමග අනතුරු
මෙවන් කාලවල සුලබව සිදුවෙන මාර්ග අනතුරු පිළිබඳවද අපට අමතක කළ නොහැකිය. පදිකයන්ගේ නොසැලකිල්ලත්, රියදුරන්ගේ නොඉවසිලිමත් බවත් ඊට හේතුසාධක වෙයි. ලැබෙන නිවාඩු කාල පරිච්ඡේදයෙන් උපරිම ප්‍ර‘යෝජනයක් ලබාගන්නට සිත උන්න්දු වන නිසාම සියලු දේ ඉක්මනින් සිදුකර ගැනීමටද ඔබේ අරමුණය. නමුත් ඔබේ දඟකාර දරුපැටියාද ඔබ සමගින් නම් දහස් වාරයක් මහා මාර්ගයේ සිහියෙන් යෑමට අමතක නොකළ යුතුය.
නිහඬ බවට හොඳම විසඳුම
ඉස්පාසුවක් නැති කතාවට, දඟකාරකමට හොඳම විසඳුම පැණි රස ගොන්නකින් දරුවන් සංසුන් කිරීම බව බොහෝ මවුවරුන්ගේ විශ්වාසය වෙයි. යම්දුරකට එය සාර්ථක ලෙස හැඟුණද ඒ නිසාද විවිධ කරදරයන්ට මුහුණදීමට සිදුවිය හැකිය. අධික පැණි රස ගොන්නක රස බැලීමට ගොස් නිදිමත ස්වභාවයක් මතුවීමට, නොඑසේ නම් අජීර්ණ තත්ත්වයක් ඇතිවීම හෝ ටොෆි වැනිදෑ නාසයේ උගුරේ සිරවීමක් පවා සිදුවිය හැකිය. මේ නිසා බැලූ බැල්මට එය සාර්ථක ලෙස හැඟුණද එමගින්ද ඔබ කටයුතුවලට බාධාවක් එල්ලවිය හැකිය.
මෙහෙම සැලසුම් කරමු
මේ සියලු කාරණාවලින් පැහැදිලි වන්නේ දරුවන් සමග ෂොපිං යෑම එතරම් ලෙහෙසි නොවන්නා සේම එය අවදානම් පසුබිමකි. නමුත් මෙවන් අවස්ථාවකද ඇතැම් ස්වාමිවරුන්ගෙන්ද ඔබ බලාපොරොත්තු වන සහයෝගයක් නොලැබෙන්නේ නම් දරුවන් පිළිබඳව මනා සිහියක් තිබිය යුතුය. නොඑසේ නම් එකම දිනයක සියලු අවශ්‍යතා සපුරා ගැනීමට නොගොස් එය දින කිහිපයකට බෙදා අවශ්‍යතා මිලදී ගැනීම සිදුකළ යුතුය. ඔබට යා යුතු ස්ථාන පිළිවෙළට ලැයිස්තු ගත කරමින් සහ දරුවන් සමග ගමන් කිරීමට පහසු ඇඳුමකින්ද, ගමන්මලු කිහිපයක් දැමිය හැකි මල්ලක් රැගෙන යෑමෙන්ද යම්තාක් දුරකට මෙකී ගැටලු මගහරවා ගැනීමට හැකියාව පවතී.
රන්දි චතුරිකා