ලොව මුලින්ම පහළ වූ සහල් වර්ගය ලෙස බෞද්ධ පොත පතෙහි සඳහන් වන ස්වයංජාත වී වගාකරමින් වසවිසෙන් තොරව තම ගෙවත්තේ වෙනත් වගා කටයුතුවලද නිරත වෙමින් අන්අයටද ආදර්ශමත් ලෙස කටයුතු කරන දිරිමත් කාන්තාවක පසුගියදා අම්බලන්තොට, මාමඩල, පල්ලෙරොට ප්‍රදේශයේදී අපට මුණගැසිණි. ඇය නමින් මාලනී වන්නිආරච්චිය. ඇයගේ ගෙවත්තට ගොඩවැදුණු අපට ඉතාමත් සරුවට වැවී තිබුණු එම වී වර්ගය හා අනෙකුත් බෝග වගාවන් දැකගත හැකිවිය.
සිය වගාව සම්බන්ධයෙන් මාලනී වන්නිආරච්චි මහත්මිය මෙලෙස අදහස් දැක්වුවාය.
"මම පොඩි කාලේ ඉඳලාම ගොවිතැන් කරන්න හරිම ආසයි. මට ලොකු උවමනාවක් තිබුණා මගේ මේ ගෙවත්තේ වසවිසෙන් තොරව විවිධ දේවල් වගාකරන්න. මම අත්හදා බලන්නත් එක්ක ස්වයංජාත කියන වී වර්ගය වගාකළා. දැනට මේ වී වර්ගය ගොඩක් දුරට වගාකරනවා අඩු නිසාම මම මේ වී වර්ගය හොයාගන්න සෑහෙන මහන්සියක් දරන්න වුණා. පස්සෙ යහළුවෙකුගෙන් එක් පැළයක් අරගෙන ඇවිල්ලා හිටවලා බැලුවා. ඒකෙන් බෝ කරගෙන දැන් මගේ ගෙවත්තෙ මේ වී ගස් සියයක විතර ප්‍රමාණයක් වගාකරලා තියෙනවා.
බීජ පැකට් කරලා හිටෙව්වාම සාර්ථකව පැළ හදාගන්න පුළුවන්. මාස 06ක් විතර ගියාම තමයි කරල් පීදෙන්න පටන් ගත්තෙ. එක් ගසක් අඩි හයක් හතක් විතර උස යනවා. සමහර ගස් ඊටත් වඩා උස යනවා. තනි පැළයෙන් වී පඳුරු තිහක් හතළිහක් විතර හදාගන්න පුළුවන්. හැම පුරුකකින්ම වී කරල් එනවා. බීජ පැකට් කරලා හිටෙව්වාම සාර්ථකව පැළ හදාගන්න පුළුවන්. ගස් පහකින් විතර වී කිලෝ එකක අස්වැන්නක් ලබාගන්න පුළුවන්කම තියෙනවා.
තෙල් පොහොර අවශ්‍යත් නැහැ. ඇත්තටම මේ වී ගස් හදාගන්න තෙල් පොහොර කියලා මොකුත්ම යෙදුවේ නැහැ. පායන කාලෙට වුණත් හොඳට ඔරොත්තු දෙනවා. හැබැයි අස්වැන්න තියෙන කාලෙට කුරුල්ලන්ගෙන් බේරගන්න තමයි හරිම අමාරු. තමන්ගේ මිදුලේ මල් පැළයක් විදියටත් වගාකරන්න පුළුවන්.
මේ සහල් පිළිකා දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලටත් ගුණදායකයි කියලා පොතපතේ සඳහන් වෙලා තියෙනවා.
දැන් ඉන්න ළමයි මේ පිළිබඳව දැනුවත්කම අඩු නිසා මම මේ කිට්ටුව තියෙන පාසල්වලට එක් පැළයක් ගාණෙ පැකට් කරලා දෙන්න හිතාගෙන ඉන්නවා. එතකොට අපෙන් මේ තුරන් වෙලා යන මේ වගාවන් පිළිබඳව අපේ අය අලුතින් හිතන්න පටන් ගත්තොත් ඒක අපිට ලොකු වාසියක් වෙනවා. මේ සහල් පිළිකා, දියවැඩියාව ආදී බෝ නොවන රෝගවලටත් ගුණදායකයි කියලා පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා.
පවුලේ ආහාර වේලට අවශ්‍ය එළවළු ටිකත් වසවිසෙන් තොරව ගෙවත්තෙන් ලබාගන්නවා.
දැනට මගේ ගෙවත්තෙ මීට අමතරව රතු නිවිති, ගස් නිවිති, දෙහි, දොඩම්, නාරං, උගුරැස්ස, කිරිඅගුණ, කිරිහැන්ද, තක්කාලි, මුකුණුවැන්න, ගොටුකොළ, ආලින්ගා, කෝමාරිකා, විෂ්ණුක්‍රාන්ති, කටුවැල්බටු, හාතවාරිය, වදකහ ආදී විවිධ වර්ග වගාකරලා තියෙනවා, මේ එකකටවත් තෙල්, පොහොර ගහන්නෙ නැහැ. මේ නිසා මගේ ගෙදර පවුලේ ආහාර වේල්වලට අවශ්‍ය හාල් ටික එළවළු ටික වසවිසෙන් තොරව ලබාගන්න පුළුවන්කම ලැබිල තියෙනවා."
හම්බන්තොට - රෝහණ ආරියරත්න